-4.8 C
New York

රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?

Published:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් විදුහල්පති තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත්ව ආවේ පසුගිය 2020 ඔක්තෝබර් 27 වැනි දාය. කොළඹ නාලන්දයේ සිට ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණ ටික දිනකින් එනම් දෙසැම්බර් මස 04 වැනි දා ඔහු සිටි නාලන්දා විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු පත්කරගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබිණි.

රිච්මන්ඩ් විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු ලෙස පැමිණි තිලක් වත්තුහේවා එම ධූරයට අයදුම් කළේය. රිච්මන්ඩ් විදුහල්පති ධූරයේ වසරක් රාජකාරී කිරීමට පෙර මේ ස්ථිර විදුහල්පතිවරයා දැන් යළි නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවීමට සුදුසුකම් සපුරා ඒ ධූරය භාරගැනීමට සූදානම්ව සිටියි.

විදුහල්පතිවරයකු ස්ථිර වශයෙන් පත්කර වසරක් ගතවීමට මත්තෙන් වෙනත් පාසලකට ඔහු පත්කර යවා කලින් පාසලේ විදුහල්පතිධූරය පුරප්පාඩු කිරීම කොතරම් සදාචාරාත්මක ද යන්න අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා යන දෙදෙනා වෙන ම විමසා බැලිය යුතුය.

දැන් රිච්මන්ඩ් විද්‍යාලයට විදුහල්පතිවරයකු අහිමිවීමේ අවධානමක් තිබේ.

මේ පිළිබඳ අප තිලක් වත්තුහේවාගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මම තාම දන්නේ නෑ වෙන්නේ මොකක් ද කියලා. රිච්මන්ඩ් විද්‍යාලයේ රාජකාරී ආරම්භ කළාට පස්සේ මම නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට සම්මුඛ පරීක්ෂණ සඳහා ගියා. මා තෝරාගෙන ද කියා මා දන්නේ නැහැ. මට රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිධූරය දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට කීවොත් වෙනත් පාසලකට යන්න කියලා මට යාමට සිදුවෙනවා.”

තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කර යළි වසරක් ගතවීමටත් පෙර ඔහු නාලන්දා විද්‍යාලයේ ස්ථිර විදුහ්ලපතිවරයා ලෙස පත්කරන්නේ ද එම කොමිෂම මගිනි. විදුහල්පතිවරයකු ස්ථිර යැයි පවසන්නේ පත්වීම් ලිපියේ පමණක් ද යන්න විමසා බැලිය යුතුය. ස්ථිර පදනම යටතේ පත්කරන විදුහල්පතිවරයකු අවම වශයෙන් වසර 03ක් හෝ පාසලක් සිටිය යුතු නොවේද ?

රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරාපත්කර එවනු ලබන විදුහල්පතිවරුන්ගේ සුදුසුකම් පරීක්ෂාකර බල කොමිසම මගින් අනුමත කරන බවයි. එහි දී විදුහල්පතිවරයකු පාසලක සිටි කාලය හෝ එහි සදාචාරාත්මක බව ගැන හෝ සොයා නොබලන බව ද හෙතෙම කීවේය.

මේ පිළිබඳ විමසීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කපිල පෙරේරා කියා සිටියේ විදුහල්පතිවරයකු පත්වීම් භාරගැනීමෙන් පසු පාසලක වසර 03ක් අවම වශයෙන් සිටිය යුතුයැයි කියා නීතියක් නොතිබූ බවයි. එය රාජ්‍ය සේවා පත්වීම් ලබාදීමේ දී රීතියක් ලෙස භාවිතා කරන ලද දෙයක් බවත් ඒ අනුව යම් අයකුට තමන් කැමති විද්‍යාලයකට යාමේ අවස්ථාවක් ඇති බවත් හෙතෙම කීවේය. වත්තුහේවා නාලන්දා විද්‍යාලයට අයදුම් කර ඇත්තේ එවැනි පදනමකින් බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරාය කියා සිටියේය.

කොළඹ පාසලක විදුහල්පතිධූරය යනු අධි වරප්‍රසාදිත සහ පහසුකම් සහිත විදුහල්පතිධූරයක් බවත්, ඔවුන්ට ලැබෙන්නා වූ සමාජ පිළිගැනීම හා බලය අසීමාන්තික බවත් අප කවුරුත් දන්නා කරුණකි. ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර වැනි වෙනත් දිස්ත්‍රික්කයන්හි පාසලක විදුහල්පති ධූරයට වඩා කොළඹ සුපිරි පාසලක විදුහල්පතිධූරයට පත්වීමට ඕනෑම පුද්ගලයකු අකමැතිවීමට හේතුවෙක් නැත. එබැවින් තිලක් වත්තුහේවා තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරය භාර ගැනීමට තීරණය කිරීම පුදුමයට කරුණක් නොවේ.

ගැටලුව ඇත්තේ ඔහුගේ නොවේ පාසලක පත්කරන ස්ථිර විදුහල්පතිවරයකු වසරක් ගතවීමට පෙර වෙනත් පාසලකට යැවීමට තරම් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. අධ්‍යාපන බලධාරීන් මේ වරද නිවැරදි නොකළහොත් කොළඹ පාසල්වලට හැර අනෙකුත් පාසල්වලට ස්ථිර විදුහල්පතිවරු නොමැතිවනු ඇත.

මහින්ද විද්‍යාලයට පසුගිය දින පත්ව ආ නව ස්ථිර විදුහල්පතිවරයා ද 2021 වසර අවසානයේ කොළඹ වෙනත් විදුහලකට අයදුම් කර මාරු වී ගියහොත් සිදුවන්නේ මෙවැනිම හානියකි. මේ ඊනියා විදුහල්පති මාරුවට වැට බැඳිය යුතුය. සුපිරි පහසුකම් අත්විදින විදුහල්පති භූමිකාවට නවතීමේ තිත තැබිය යුතුය. එය ‍එසේ නොකළහොත් කොළඹට විදුහල්පතිවරු නිර්මාණය කරන පුහුණු පාසල් බවට අනෙකුත් ජාතික පාසල් පත්වීම වැළැක්වීමට නොහැකිවනු ඇත.

Related articles

Recent articles

spot_img