-5.9 C
New York

රටටම පරණ බෙහෙත් ගිල්ල වූ ජාවාරමක් අල්ලයි

Published:

කල් ඉකුත් වූ ඖෂධ නැවත ලේබල් කර විකිණීමේ මහා පරිමාන ජාවාරමක් ඇල්ලූ බව දෙහිවල පොලිසිය කියයි. දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ග‍ොස් ඇත. එම ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගිය අත්තිඩිය නෙළුම් මාවත පදිංචිකරු‍වකු (51) ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු විසින් විදෙස් රටවලින් ආනයනය කරන බෙහෙත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ගබඩා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව කියමින් කුලියට ගත් මෙම නිවසේ වසර 07ක පමණ කාලයක් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

එම නිවසේ විශාල ඖෂධ තොග ඇති බවත් ඔවුන් රටු පුරා ඖෂධ අළෙවි සැල්වල ඇති කල් ඉකුත් වූ ඖෂධ ගෙනවිත් ඒවා නැවත ලේබල් කර විකුණන බවත් දැනට කරන ලද මූලික පරීක්සණවල දී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙවැනි ඖෂධ තොග වෙනත් ස්ථානවෙත යවා ඇති බවත් ආනාවරණය වී ඇත.

එම නිවසේ තිබූ ඖෂධ තොග සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කීවේය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව අධිකාරියෙන් ලබාගත් ඖෂධ ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ බලපත්‍රයක් ඇතත් එය කල් ඉකුත්වී තිබිණි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලැබුණු තොරතුරකට අනුව දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමඟ එම ස්ථානයට පැමිණ කරන ලද සෝදිසි කිරීමක දී මෙම කල් ඉකුත්වූ ඖෂධ විකිණීම පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ.

දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මෙම ‍කල් ඉකුත්වූ ඖෂධ විනාශ කර දැමීමටත්, ඒවා මෙතෙක් බෙදාහැර ඇති ඖෂධ අළෙවි සැල් සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් ජාතික ඖෂධ නියාම අධිකාරියේ ප්‍රධාන ආහාර හා සෞඛ්‍ය පරීක්ෂඛ වැටලීම් හා නීතිය බල ගැන්වීමේ ඒකකයේ ප්‍රධානී අමිත් පෙරේරා පවසයි.

Related articles

Recent articles

spot_img