ගාල්ලේ සිදුවූ කොරෝනා එන්නත් මගඩිය යට ගැසීමේ කාර්යයේ එක් පියවරක් ලෙස රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත්කරණ ලිපිගොනුව අස්ථානගත වී ඇති බව අපි මීට පෙර හෙළිකරෙමු.
එම හෙළිදරව්ව කර තිබිය දී ඊයේ (12) උදෑසන රත්ගම පොලිසියට ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පුද්ගලයකු අනවසරයෙන් එම කාර්යාලයේ යතුර පොලිසියෙන් ඉල්ලා ගෙනවිත් කාර්යාලය විවෘතකර ලිපිගොනුවක් රැගෙන ගිය ආකාරය ප්‍රදේශවාසීන් සාක්ෂි සහිතව පවසයි.
රජයේ කාර්යාල බොහොමයක යතුරු රාජකාරිය නම් කාර්යයක් තිබේ. එය මාසයකට වතාවක් යම් අයකු සඳහා පැවරෙන අතර රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජුනි මාසයේ යතුරු රාජකාරිය භාර නිලධාරියා කාර්යාලය වසා එය මුද්‍රා තබා රත්ගම පොලිසියට භාරදිය යුතුය. එහි පොතක ඒ බව සටහන් කිරීම ද අවශ්‍ය වේ. ඉන්පසු යළි කාර්යාලය විවෘතකරන දිනයේ එම යතුර ලබාගැනිමේ නිල බලය හිමිවන්නේ එම නිලධාරියාටය. එය ද අත්සන් තබා ලබාගත යුතුය.
එසේ තිබිය දී මෙලෙස වෙනත් අයකු යතුර පොලිසියෙන් ලබාගෙන කාර්යාලය විවෘතකර තිබීම බරපතල ගැටලුවකි. කාර්යාලය විවෘතකළ පුද්ගලයා යම් ලිපිගොනුවක් රැගෙන යන ආකාරයත් අවට සිටි බොහෝ දෙනකු දැක තිබේ. ඔහු රැගෙන ගියේ මීට පෙර දිනයක දී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරියගෙන් බලධාරියකු විසින් බලෙන් ලබාගත් ලිපිගොනුව බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ම අනෙකුත් නිලධාරීන් පවසයි.
මෙහි තවත් ගැටලුවක් තිබේ. ලිපිගොනුව ගත් එම තැනැත්තා කාර්යාලය විවෘතකර තබා ගොස් තිබිණි. කාර්යාලයේ කොරෝනා මර්ධනය සඳහා ගෙන ආ එන්නත් ඇතුළු තවත් එන්නත් වර්ග මෙන්ම වටිනා බඩු බාහිරාදියත්, ලිපිගොනු රැසකුත් තිබිය දී මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළ අදාල නිලධාරියා කාර්යාලය විවෘතකර දමා කොස්ගොඩ ප්‍රදේශයට ගොස් තිබිණි.
ඊයේ උදෑසන යතුරු රාකාරී භාර නිලධාරියා කාර්යාලයට පැමිණෙනවිටත් එහි දොර විවෘතව තිබූ අතර සායන කටයුතු සඳහා පැමිණි පිටස්තර පුද්ගලයන් කිහිප දෙනකු ද එහි රැඳී සිටියේය.
ලිපිගොනුව පැහැරගෙන ගිය බව පවසන පුද්ගලයාගේ හිතවතුන් 20ක පමණ පිරිසකට ද එන්නත් ලබාදුන් බව එම කාර්යාලයේ අනෙකුත් සේවකයෝ කියති.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අපි හෙළි කරන්නෙමු.
මේ අතර ඊයේ (12) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සියළු දෙනාගේ රැස්විමක් කැඳවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය මාධ්‍යවෙත තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයක් ද සිදුකර තිබිණි.
(මෙම පුවත හේතුවෙන් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ යම් අයකුට අගතියක් සිදුවන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් ඔවුන්ගේ පිළිතුරු දැක්වීම් හෝ පැහැදිලි කිරීම් ද මේ ආකාරයෙන් ම සමාන ඉඩ ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.)
