දෛනික මරණ ලෙස දිනපතා ප්‍රකාශයට පත්කරන්නේ එදිනෙදා සිදුවන මරණ නොවන බවත් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී කොරෝනා ආසාදනයෙන් මියගොස් මෙතෙක් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ මරණ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ නෙත් නිවුස් වෙත අදහස් දක්වමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“දෛනික කොරෝනා මරණ වැඩිවුණේ මාස ගණනාවක් තිස්සේ මරණයට හේතුව පැහැදිලිව සටහන් කර මරණ සහතිකය දී අවසන් කිරීමට බැරි වුණු මරණ නිසා. ඒ ටික එකතු කරමින් වාර්තා කරනවා. ඒ සදහා කාලසීමාවක් ගතවෙලා නතර වෙලා තියෙන මරණ හැකිතාක් දුරට අවසන් කරන්න බැරි වුණා. ඉතිරිවී තිබූ මරණ තමයි මේ විදියට නිරවුල් කරලා දුන්නේ. කාලයක් තිස්සේ හිරවෙලා තිබුණු මරණ අවසන් කරන්න බැරිවුණා. සඳුදා සිට ඉදිරි පැය 96ක් ඇතුළත මරණ ප්‍රකාශ කරන්න අපි කටයතු කරනවා. එවිට ඉතාමත් නිරවුල් දත්ත දෙන්න පුළුවන්.”
වෛද්‍ය අසේල ගුණවර්ධනගේ එම ප්‍රකාශය පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ.
යම් පුද්ගලයකු රෝහලේ දී හෝ නිවසේ දී මියගිය විට එය කොරෝනා ආසාදිතයැයි තහවුරු වුවහොත් පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු බවට නියෝගය දී තිබෙන්නේ ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසිනි. මෙම මරණ කොරෝනා ආසාදිත බව තහවුරු කරගන්නේ පීසීආර් පරීක්ෂණ මගිනි.
මළ සිරුරක් පැය 24ක් ඇතුළත ආදාහනය හෝ භූමදානය (ඉස්ලාම් ආගමික) සිදුකරන්නේ නම් ඒ අධිකරණ වෛද්‍ය අංශයෙන් කොරෝනා බව තහවුරු කිරීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් මරණ පරීක්ෂණයක් පවත්වා ඥාතීන්ගේ වියදමින් හෝ එසේ නොමැතිනම් රජයේ වියදමින් හෝ අවසන්කටයුතු සිදුකරයි. එබැවිින් මරණයට හේතු දැනගැනීමට මාස ගණනක් ගත වූවා යැයි කීම පිළිගත හැකි කාරණයක් නොවේ.
මළ සිරුරක රෝහලක අධිකරණ අංශයට භාරදුන්විට එහි පීසීආර් පරීක්ෂණයක් සිදුකර එය කොරෝනා ආසාදිත වුව ද නොවූව ද හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන නොදැන සිටීම පුදුමයකි.
යම් මරණයක් කොරෝනා ආසාදිත බව තහවුරු වන්නේ නම් එය ආදාහනය හෝ භූමදානය කිරීමට පෙර අධිකරණ වෛද්‍යවරයකු එම මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව හෝ ඒ සමඟ ඇතිවූ කවර නම් හේතුවක් ද යන්න හදිසි මරණ පරීක්ෂකවරයාට නිර්දේශයක් ලබාදෙයි. ඉන් අනතුරුව මරණය සම්බන්ධ අවසන් තීරණය දැනුම් දී පැය 24ක් ඇතුළත ආදාහනය කිරීමට පෙර එය මරණයක් ලෙස ලියාපදිංචි කිරීම ද සිදුවේ. මරණයක් ලියාපදිංචි නොකර ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට මෙරට සාමාන්‍ය නීතියෙන් ඉඩක් නැත. මේ කරුණ වෛද්‍ය අසේල ගුණවර්ධන නොදැන ඉහත ප්‍රකාශය කිරීම ගැටලු සහගතය.
මේ අනුව පෙනී යන්නේ ඔහු රටේ ජනතාවට සත්‍යය වසන් කරන බවයි.
පසුගිය 2020 මාර්තු මාසයේ සිට මෙරට දෛනිකව සිදුවූ කොරෝනා මරණවලින් අති බහුතරයක් රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් වාර්තා නොකරන බව අපි rata.lk සාධක සහිතව සනාථ කළෙමු. තවමත් සෞඛ්‍ය අශ සිදුකරන්නේ මෙරට සිදුවන කොරෝනා මරණ පිළිබඳ සැබෑ දත්ත ජනතාවගෙන් සඟවාගෙන සිටීමයි. නමුත් මෙය හැමදාමත් සිදුකළ හැකි කරුණක් නොවන බව අපි දනිමු.
මේ මරණ පිළිබඳ තොරතුරු දෛනිකව ලබාදීම එතරම් අපහසු කාර්යයක් නොවේ. මියයන පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු සිටනි රෝහලක දී පමණි. එම රෝහල්වලට Google Drive ක්‍රමවේදයක් භාවිතා කර දෛනිකව තම රෝහලේ දී තහවුරුවන කොරෝනා මරණ පිළිබඳ විස්තර ඇතුළත් කරන්නයැයි උපදෙස් දීම අපහසු නැත. එමෙන්ම එය පාසල් අධ්‍යාපනය ලබන සිසුවකු වුව ද දන්නා ක්‍රමවේදයකි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දෛනික මරණ පිළිබඳ නිවැරදි දත්ත සෑම දිනකම ලබාගැනීමට මේ ක්‍රමය භාවිතා කිරීමට හැකියාව තිබේ. නමුත් ඔහු තවමත් භාවිතා කරන්නේ තැපෑල වැනි යල් පැන ගිය තොරතුරු සන්නිවේදන ක්‍රමයන් ද කියා අප දන්නේ නැත.
පිළිගත නොහැකි හේතු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙරට සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය දෛනිකව ඉතා අඩුවෙන් දක්වා ඒවා පැරණි මරණ බවත් පැවසීම ජනතාව මුලා කිරීමක් බව පැහැදිලිව සටහන් කර තැබිය යුතුය.