රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන කමිටුවේ තීරණවලට පටහැනිව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් එන්නත්කරණ වැඩසහනින් ඉවත්වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න එම ලිපිය මගින් දක්වා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් ඔහුට ද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර ඇති ලිපිය අනුව මෙ තීරණය ගත් බවයි.
කොළඹ දිස්ත්‍රිකයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පවසන්නේ කොළඹ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන විධිමත් කිරීම සඳහා රජයේ ඉල්ලීම මත අවශ්‍ය උපරිම සහයෝගය ලබාදුන් බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා එකඟතාවලට එළැඹි බවත් ඒ අනුව ජනතාවට වඩාත් පහසුවෙන් එන්නත් ලබාගැනීමේ වැඩපිළිවෙලක් සැකසූ බවත් දිසාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම ලිපිය මගින් සිහිපත් කර ඇත.
එසේ රාජ්‍ය නිලධාරීන්ගේ සහය ලබා දී එන්නත්කරණ වැඩසටහන වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමට කටයුතු කර තිබිය දී එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය නොවන පාර්ශවයන්ගේ මැදිහත්විම් සහ බලපෑම් සිදුවන බවට අසත්‍ය චෝදනාවක් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් එල්ලකර ඇතැයි කොළඹ දිසාපතිවරයා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ මෙතකේ කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයගේ නාම ලේඛනය ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන් මෙම අසත්‍ය චෝදනාව නගා ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් පවසයි. එම නාම ලේඛනය ලබාදීම රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විරුද්ධ වී ඇති බවත් එම විරෝධය ප්‍රශ්නකාරී බවත් ඔවුහු කියති. මේ අසත්‍ය චෝදනාවට එරෙහිව ඊට විරෝධය පළකරමින් කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට සහය දීමෙන් දිස්ත්‍රික් ලේකම්කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු නිලධාරීන් ඉවත්ව සිටියි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන් හා රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් එන්නත්කරණ ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බව තම සංගමය නොකියන බවයි. එනමුත් ඔවුන්ට අදාල කොටස පමණක් පැවරීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම කීවේය.





