දැඩි සංචරණ සීමා පනවා තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් එන්නත්කරණ පත්‍රිකාව අධිවේගී මාර්ගයේ යාමට අවසර පත්‍රයක් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියකු rata.lk වෙබ් අඩවිය සමඟ කීවේය.
නමුත් එවැනි අවසර පත්‍රයක් ඇති බව හෝ එම එන්නත්කරණ පත්‍රිකාව පෙන්වා සංචරණ සීමා කාලයේ දී ගමන් කළ හැකි බව හෝ පොලිසිය මීට පෙර පවසා තිබුණේ නැත.
ඔහු මේ බව කියා සිටියේ බස්නාහිර පළාතේ සිට ගාල්ලට එන්නත් ලබාගැනීම සඳහා දහසකට වැඩි පිරිසක් අධිවේගී මාර්ගය ඔස්සේ සුපිරි වාහනවලින් පැමිණ තිබීම සම්බන්ධයෙන් අප කර ලද විමසීමක දී ය.
මේ පිළිබඳ සොයාබැලීමට අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද ඔහු අප හා සම්බන්ධ වූයේ නැත. ඔහුගේ කාර්යාලයට ඇමතුමක් ගත් අවස්ථාවේ දී එහි සිටි නිලධාරියෙක් පළමුව කියා සිටියේ කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ වාහන ගාල්ලට පැමිණීමටනම් අවසර පත්‍රයක් ගත යුතු බවයි. එම වාහන සඳහා එවැනි අවසර පත්‍රයක් නිකුත්කර තිබේ ද යන්න සොයාබලන බව ද හෙතෙම කීවේය.
ඉන්පසු අප අප කරන ලද විමසීමක දී එම කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ කොළඹ හා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් පිරිසක් එන්නත් කිරීම සඳහා ගාල්ලට ගොස් ඇති බවයි. එම එන්නත් ලබාගැනීමට ගාල්ලට පැමිණෙන්නයැයි එන්නත් කළ වෛද්‍යවරයාගෙන් කැඳවීමක් ලැබී ඇති බැවින් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් බවට ඇති එන්නත් පත්‍රිකාව පෙන්වා ඔවුන් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ එම නිලධාරියා කියා සිටියේය. ඔහු මේ බව අප සමඟ කීවේ අප දුරකථනයේ රැඳී සිටිය දී හබරාදුව පොලිසියේ නිලධාරියකු වෙනත් දුරකථනයකින් සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසීමෙන් අනතුරුවය.
අප ඉන් පසුව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත.
නමුත් අප දන්නාතරමින් එන්නත් හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද ඕනෑම අයකුට ළඟම ඇති රජයේ රෝහලක් වෙත යාමට අවසර ඇත. ඒ අවසරය ලැබෙන්නේ ද ග්‍රාම නිලධාරීවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද අනුමැතිය ඇත්නම් පමණි. අවසර දීම පොලිසිය මගින් සිදුකරන්නේ නැත.
රට පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමට පෙර පළාත් අතර සංචරණ සීමා පැනවූ අතර ඒවා තවමත් ක්‍රියාත්මකය. කෙනෙකු තම දිස්ත්‍රික්කයේ සිට යාබ ද දිස්ත්‍රික්කයට යන්නේ නම් දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. අත්‍යාවශ්‍ය සේවාවලට පවා මෙම කොන්දේසිය පනවා තිබිය දී පොලිසියත්, අධිවේගී මාර්ග බලධාරීනුත් එන්නත් පත්‍රිකාවක් පෙන්වූ පමණින් ඔවුන්ට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට ඉඩදුන්නේ කෙසේ ද යන්න අපි විමසා සිටින්නෙමු.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යම් පැහැදිළි කිරීමක් කරන්නේ නම් එය අප වෙබ් අඩවියේ පළකරන්නෙමු.