-5.9 C
New York

එන්නත් හොර පාරේ යැවූ ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වරදී

Published:

ගාල්ලේ දී සිදුවූ එන්නත් මගඩිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ කරුණු අනුව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි යන දෙදෙනා වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරුවලින් ඉවත්කර ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

වෛද්‍ය ජීවරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, වෛද්‍ය සිංගාරච්චි දකුණු පළාතේ වෙනත් අංශයකටත් මාරුකර යැවූ බව ‍ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (09) සවස කී‍වේය.

‍වෛද්‍ය වෙනුර සිංගාරච්චිට මීට ඉහත කරාපිටිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍ය ඒකකයට ස්ථානමාරුවීම් කිහිපයක් ම ඇතත් ඔහු එම මාරුවීම් භාරගෙන තිබුණේ නැත. ඔහු සාමාන්‍ය ‍MBBS වෛද්‍යවරයකු බැවින් නිර්වින්දන ඒකකයට ගිය විට ඔහු එහි ප්‍රධානියා ලෙස පිළිගැනීමට අවස්ථාවක් කිසිසේත්ම ලැබෙන්නේ නැත. නමුත් වසංගත රෝග වේදඥ ලෙස සිටීමෙන් ඔහුට ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට හැකි බැවින් ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුහසින් වසර ගණනාවක් එම තනතුරේම කටයුතු කළේය.

මෙලෙස ඔවුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පවත්වන ලද මූලික විමර්ශනයෙන් පසු ලබාදුන් නිර්දේශ අනුවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බවත් ඔවුන් දෙදෙනාට විනය පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කිවේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය දැනුම් දී තිබිය දී එම එන්නත් නොලැබුණු විශාල පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ම සිටිය දී නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන දහස් ගණනකට උණවටුනේ දී එන්නත් ලබාදීමේ මගඩියක් ක්‍රියාත්මක වන බව මුල්වරට රට හමුවේ අනාවරණ්‍ය කරන ලද්දේ rata.lk‍ වෙබ් අඩවිය මගිනි. අප විසින් ඒ සම්බන්ධ අනාවරණයන් 03ක් කළ පසු මාධ්‍ය ආයතන කිහිපයක් ද අපගේ කරුණුමත පදනම්ව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලදී.

මෙම අනාවරණයෙන් පසු ඒ සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීමට ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් ගාල්ලට පැමිණයහ. ඔවුන් ලබාදුන් නිර්දේශ අනුව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර ඇත.

Related articles

Recent articles

spot_img