ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ බල අරගලය හේතුවෙන් බෙදාදීමට නොහැකිව මාස ගණනක් ගොඩගැසී තිබේ. මෙම ත්‍රිපෝෂ තොගය ලබන ජූලි මස 06 වැනි දා කල් ඉකුත්වීමට නියමිතය.
ත්‍රීපෝෂ පැකට් 30 බැගින් යුතු මළු 192ක් දැනට ගාල්ල, දංගෙදර සමගිවත්තේ පිහිටි සායනික ගොඩනැගිල්ලේ පසෙක ගොඩගසා තිබේ. එහි ඇති ත්‍රිපෝෂ පැකට් ප්‍රමාණය 5760කි. මෙම ත්‍රිපෝෂ පැකට් පසුගිය පෙබරවාරි මාර්තු මාසයේ දී ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී තිබිණි. එහෙත් මාස 04ක් ඉක්මයන තුරු එම ත්‍රිපෝෂ පැකට් බෙදා දී නැත.
නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පවසන්නේ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍යවරු තිදෙනා නගර සභා පරිශ්‍රයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක කාර්යාලය ස්ථාපිත කරගැනීම සඳහා කරනු ලැබූ බල අරගලය හේතුවෙන් මෙම ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීම සිදුකළ නොහැකි වූ බවයි. නගර සභාවේ සායනික කටයුතු පවා වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් නතර වී තිබූ අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන් මාර්ගයෙන් බෙදාහැරිය යුතු මෙම ත්‍රිපෝෂ පැකට් නිසි පරිදි පෝෂණ ඌනතා ඇති දරුවන් සඳහා ලබාදීමට වෛද්‍යවරුන්ගේ අනුමැතිය මෙතෙක් ලැබී නැත.
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයකු අප සමඟ කියා සිටියේ ඉදිරියේ දී ද මේ ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බැවින් ඒවා කල් ඉකුත්වී ඉවත දැමීමට සිදුවනු ඇති බවයි.
නැතිනම් කල් ඉකුත්වීමට සතියකට පමණ පෙර කෙසේ හෝ දරුවන්ට මේ ත්‍රිපෝෂ බෙදා දී තම රාජකාරිය ඉටුකළා යැයි චෝදනාවෙන් බේරීමට අදාල වෛද්‍යවරු කටයුතු කරනු ඇතැයි ද ඔවුහු කියති.
මේ පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ කොමසාරිස් රනිල් වික්‍රමසේකරගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“මේ ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීමේ කාර්යයට අපි පවුල් සෞඛ්‍ය සේවිකාවන් සම්බන්ධ කරගත යුතුයි. දැනට එම පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයක ආරම්භකර තිබෙන කාර්යාලයක වෛද්‍යවරු තිදෙනාගේ අධීක්ෂණය යටතේ. මේ නිසා අපි ඔවුන්ට දැනුම් දුන්නා මේ පැකට් ඉක්මණින් බෙදාහරින්න කියලා. තවමත් ඒ කාර්යය සිදුවෙලා නැහැ. ඒ නිසා ලිඛිත දැනුම්දීම් කරලා ඉදිරි දින කිහිපයේ දී මේ ත්‍රිපෝෂ බෙදා හැරීමට කටයුතු කරනවා”
(මෙම පුවත පළකිරිමේ දී ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයේ වෛද්‍යවරුන් ඇතුළු යම් පුද්ගලයකුට හෝ ගාල්ල මහ නගර සභාවේ දේශපාලන නියෝජිතයන්ට යම් අගතියක් සිදුව ඇතැයි ඔවුන් පවසන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිළි කිරීම් සඳහා අප මෙවැනිම ඉඩක් වෙන්කිරීමට සූදානම්ය)
