යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙන් අධිකරණය ඇතුළු සියලුම රජයේ කාර්යාල ඉවත්කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගාලුු කොටුවේ ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කොටස් නව අතිරේක මහාධිකරණයක් පිහිටුවීම සඳහා ලබාදීමේ උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී වීරසිංහ පවසන්නේ ඒ පිළිබඳ තම ආයතනය සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වා එවැනි තීරණයක් ගෙන තිබීම විමතියට කරුණක් බවයි.
මෙම තීරණය ක්‍රියාත්මක කර ඇත්තේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර විසිනි.
ගාල්ල කොටුවේ පැරණි දොරටුව ඇති ඓතිහාසික ගබඩා සංකීර්ණ ගොඩනැගිල්ලේ පිහිටි සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඉහළ මහලේ ඇති ශ්‍රවණාගාරය මෙලෙස නව අධිකරණයක් පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට තාවකාලිකව පවරාදීමට ඇය කටයුතු කර තිබේ.
මෙය බරපතල ගැටලු රාශියක් මතුකරන පවරාදීමක් බව ඒ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වෙයි.
මෙම ගොඩනැගිල්ල මෙරට ඇති පැරණිතම ගොඩනැගිලි අතර විශාලතම ගොඩනැගිල්ලයි. නෙදර්ලන්ත ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද මෙහි ඉහළ මහලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ඇති අතර පහළ මහලේ එක් කොටසක කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කෞතුකාගාරය පිහිටුවා ඇත. ඊට අමරව පහළ මහළේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කාර්යාලයක් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කුඩා ගබඩාවක් ද ස්ථාපිත කර ඇත.
ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ දී නෙදර්ලන්ත ආධාර සැපයීමේ කොන්දේසි අනුව මෙම ගොඩනැගිල්ල භාවිතා කළ හැකිවන්නේ කෞතුකාගාර සහ පුරාවිද්‍යාත්මක කාර්යයන් සඳහා පමණි. එම කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් දැනටමත් අභියෝගයට ලක්ව ඇති ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වය අහිමිවීමේ සාධකවලට තවත් නව සාධකයක් එකතුවීම මෙම තීරණය අනුව සිදුවනු ඇත.
සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ආයතනයකි. නමුත් මෙම පවරාගැනීමේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කිසිදු විමසීමක් කර නැති අතර නිලධාරින් කිහිප දෙනකු සමඟ කරන ලද ක්ෂේත්‍ර චාරිකාවකින් පසු ඇය ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2021 මැයි මාසයේ දී ලිපියක් යොමු කර ඇත.
එම ලිපියෙන් දන්වා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ හිස්ව පවතින කොටස නව අධිකරණ කාර්යාලයක් ස්ථාපිත කර තාවකාලිකව පවත්වාගෙන යාම සඳහා ඇය විසින් අවසර ලබාදී ඇති බවයි.
ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එවැනි අවසරයක් දුන් බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවීම කිසිසේත්ම අදල වන්නේ නැත. උඩුමහලේ සහ බිම් මහලේ කොටසක පවත්වාගෙන යන සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය කෞතුකාගාර දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධයක් නොමැති ආයතනයකි. මේ බව අප ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු ද තහවුරු කළේය.
කෞතුකාගාර සහ පුරාවිද්‍යාවට සම්බන්ධ කාර්යයන් සඳහා පමණක් භාවිතා කිරීමට යුනෙස්කෝ නිර්දේශය ඇති ගොඩනැගිල්ලක කොටසක් අතිරේක මහාධිකරණයක් සඳහා පවරා දීමට ගන්නා උත්සාහයේ දී ඒ පිළිබඳ එකදු සාකච්ඡාවක් හෝ මෙතෙක් පවත්වා නැත.
එසේ වුව ද අධිකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටී.ජී.චන්ද්‍රා මාලනී විසින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර වෙත 2021-05-11 දිනැති ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ මෙම කාර්යය සඳහා මෙම ගොඩනැගිල්ලේ අදාල කොටස දැනට භාවිතා කරන මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු සියළු පාර්ශවයන් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රැස්වීමක් පැවැත්විය යුතු බවයි. එමෙන් ම එම ගොඩනැගිල්ල සඳහා ග්‍රාම නිලධාරී මගින් තක්සේරු වාර්තාවක් කැඳවා ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ද එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
2021-05-13 වැනි දින ඊට පිළිතුරු ලිපියක් යවමින් ප්‍රාදේශීය ලේකම්වරිය අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ ඉහත ගොඩනැගිල්ල කොටසේ අතිරේක අධිිකරණයක් ස්ථාපිත කිරීම සම්බන්ධ තීරණය අධිකරණ අමාත්‍යාංශයට ද පිටපත් සහිතව කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බවයි. අපට ඇති ගැටලුව නම් මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෞතුකාගාරයක් පවරා ගන්නට බවට කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීම කවර හේතුවක් නිසා සිදුවන්නේ ද යන්නයි.
එමෙන් ම ප්‍රාදේශීය ලේකම්වරිය පවසන්නේ එම ගොඩනැගිල්ලේ හිස්ව පවතින කොටස තාවකාලිකව පවරාදීමට කටයුතු කර ඇති බැවින් නැවත බදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බවත් එබැවින් තක්සේරු වාර්තාවක් ද අනවශ්‍ය බවයි.
එමෙන් ම මේ පරිශ්‍රයේ භුක්තිය මධ්‍යම සංස්කෘතික අරමුදල වෙතින් භාරගෙන මූලික කටයුතු සිදුකර වාර්තාකර ලෙස ද ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. එමෙන්ම පවතින කොරෝනා අර්බුදය හමුවේ රැස්වීම් සංවිධානය කිරිමේ හැකියාවක් නොමැති බැවින් එම ආයතන සම්බන්ධකරගෙන අදාල කටයුතු කරගන්නා ලෙසත් කෞතුකාගාර කොටස අතිරේක මහාධිකරණය සඳහා ලබාදීමට දැනටමත් සියලු කටයුතු ඉටුකර ඇති බව ද එම ලිපිය මගින් දන්වා තිබේ.
මේ ගොඩනැගිල්ලේ කොටසක් පවරා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීරගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.
“මේ ගොඩනැගිල්ල තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් යටතේ. එය මෙතෙක් වෙනත් කිසිම ආයතනයකට පවරා දී නෑ. මෙහි උඩ තට්ටුවේ කොටසක් ශ්‍රවණාගාරයක් ලෙස භාවිතා කරලා දැන් අතහැර දාලා තියෙනවා. දූවිලි බැඳිලා. අවුරුදු දෙකක් විතර පාවිච්චි කරලා නැහැ. ඒ නිසා අපි ඒ කොටසේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව ස්ථාපිත කිරීමට කටයුතු කළා. අවුරුද්දකින් බෙලිගහ හදන අධිකරණ සංකීර්ණයට එම කාර්යාලයත් රැගෙන යනවා. එවිට නැවත කෞතුකාගාරයට මේ කොටස ලබාදෙන්න පුළුවන්. නඩු ගොඩක් තිබෙනවා. ඒවා ඉක්මණින් අවසන් කිරීමට තමයි මේ අධිකරණය ආරම්භ කරලා තියෙන්නේ. දැනට තියෙන අධිකරණ ආසන්නයේ ම තැනක් වඩාත් සුදුසු නිසා මේ තැන තෝරාගත්තේ මහජනතාව වෙනුවෙන් කල්පනා කරලා. ගාල්ලේ කොටුවේ මෙවැනි වෙනත් ස්ථානයක් නැහැ. කෞතුකාගාරයේ හිටපු අයගෙන් ඇහුවම තමයි කිවේ මේක කරගෙන යන්නේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියලා. ඒ නිසයි මම කෞතුකාගාර අධ්‍යක්ෂකට ලියුම් යැව්වේ.”
ලෝකයේ කෞතුකාගාර ප්‍රමිතීන් අනුව ශ්‍රවණාගාරයක් යනු කෞතුකාගාරයක තිබිය යුතු අනිවාර්ය අංගයකි. එම ප්‍රමිතීන් අනුව සැකසූ මෙම කෞතුකාගාරයේ තිබෙන ශ්‍රවණාගාරයේ ගාල්ල කොටුව නැරඹීමට එන පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ දේශන පැවැත්වෙන අතර සංස්කෘතික හා කලා කටයුතු සඳහා එම ශ්‍රවණාගාරය බදු දීම ද සිදුකරයි.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පවසන්නේ මේ ශ්‍රවණාගාරය සිවිලිම වසරකට පමණ පෙර කඩා වැටුණු බැවින් එහි අලුත්වැඩියා කාර්යයක් සිදුවන බවයි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු ශ්‍රවණාගාරය භාවිතයට නොගත්ත ද එය කෞතුකාගාරය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බව ද මහාචාර්යවරයා කීවේය.
මෙහි තවත් ගැටලුවක් තිබේ. ඉහළ මහලේ ඇති ශ්‍රවණාගාරයට ප්‍රවේශවීමට සඳහා වෙනම දොරටුවක් නැත. එහි අධිිකරණයක් ස්ථාපිත කළහොත් එම අධිිකරණයේ විනිසුරුවරයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් නඩු කටයුතු සඳහා පැමිණෙන නීතිඥවරු, පොලිස් නිලධාරීන් සහ මහජනතාවටත් අධිකරණයට පිවිසීමට සිදුවන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාරය හෝ ඔවුන්ගේ කාර්යාලය මැදිනි. මෙය විශාල ගැටලුවක් වනු ඇත.
අධිකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධයක්ෂ ටී.ජී.චන්ද්‍රා මාලනී යොමුකළ ලිපියේ දැක්වෙන්නේ අතිරේක මහාධිකරණය ස්ථාපනය කිරීමට සුදුසු පරිදි මෙම ගොඩනැගිලි පරිශ්‍රය සකස් කළ යුතු බවයි. එමෙන්ම විනිසුරු නිල මැදිරියට වැසිකිළි පහසුකම් සළසා දිය යුතු බැවින් ඒ සඳහා ප්‍රාදෙශීය ලේකම් කාර්යාලය වෙත මුදල් ප්‍රතිපාදන යොමුකරන බවත් දන්වා තිබේ.
මේ සඳහා ද ප්‍රාදේශීය ලේකම්වරිය එකඟතාව පළකර තිබේ.
අධිකරණ අමාත්‍යාංශය මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වැසිකිළිි පවා ඉදිකිරීමට සැළසුම් කළ ද ලන්දේසීන්ගේ බඩු ගබඩා ගොඩනැගිල්ල වූ මෙම පැරණි ගොඩනැගිල්ල කිිසදු ආකාරයක වෙනස්කමකට භාජනය කිරීමට අවසර ලැබෙන්නේ නැත. මීට ඉහත මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය සඳහා ජල පහසුකම් ලබාගැනීමට ද අවසර නොලැබිණි. එවැනි ගොඩනැගිල්ලක වැසිකිළි ඉදිකිරීමට සැළසුම් කිරීම ද ගැටලු සහගතය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී වීරසිංහ මෙසේ කීවේය.
“මේ ගොඩනැගිල්ල අතිරේක මහාධිකරණය සඳහා භාවිතා කිරීමට පවරා ගන්නවා කියා දැනගන්න ලැබුණා. මේ ගැන අප සමඟ විධිමත් සාකච්ඡාවක් කළේ නැහැ. මේ පවරාගැනීම සම්බන්ධයෙන් අපට බරපතල ගැටලුවක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරිය කිව්වා අපිට වසරක දී නව අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන්වන නිසා මේ ස්ථානය ගන්නවා කියලා. නමුත් ලෝක උරුම නිර්දේශය වෙන්නේ ගාල්ල කොටුවේ තිබෙන උසාවි ඇතුළු රජයේ සියළු කාර්යාල කොටුවෙන් ඉවත් කරන්න. මෙය ඊට වෙනස් තීරණයක්.”
ගාල්ලේ බෙලිගහ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වූයේ එහි ඉදිකිරීම් ඉදිරි වර්ෂයක කාලයක දී අවසන් නොවන බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සියල්ල මෙතෙක් ලැබී නැත. එබැවින් එම අධිකරණ සංකීර්ණය ආරම්භවීමට වසර 05කට වැඩි කාලයක් ගත වනු ඇතැයි යන්න අනාවරණය විය.
ගොඩනැගිල්ලේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ සාකච්ඡා කරමින් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි ද යන්න විමසූ විට ඇය කියා සිටියේ තමන් ගොඩනැගිල්ලේ කොටසක් අධිකරණය වෙනුවෙන් ලබාදීමට තීරණය කළේ ජනතාව පිළිබඳ සිතා බවයි.
නමුත් දැනට එ් පිළිබඳ බොහෝ දෙනකු ප්‍රශ්න කරමින් පවතින බැවින් එම ව්‍යාපෘතිය අතහැර දැමීමට තීරණය කරන බව ද ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර කීවාය.
