ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ පදිංචි විශාල පිරිසක් පැමිණ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිවිය.
මෙම එන්නත ලබාදීම සිදුකරන ලද්දේ ගාල්ලේ එන්නත් හොර පාරේ යැවීමේ චෝදනාවට කිහිප විටක්ම ලක්වුව ද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අනුහසින් බේරී සිටින ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි විසිනි.
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලැබිය යුතු නමුත් එය නොලැබුණු සෞඛ්‍ය සේවකයෝ ද ගාල්ලේ සිටිති. එසේ තිබිය දී
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඔහුගේ සමීපතම කිහිප දෙනකු පමණක් සහභාගී කරවාගනිමින් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිට ගාල්ලට පැමිණි තමන්ගේ හිතවතුන් රැසකට එන්නත් ලබාදුන්නේය. එන්නත් විදීම සිදුකරන ලද්දේ එම වෛද්‍යවරයා විසිනි. මේ අතර ගාල්ලේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනකු ද සිටියහ.
පැමිණි සිටි පිරිස අතරින් කිහිප දෙනකුගෙන් අප කළ විමසීම්වල දී ඔවුන් පැවසුවේ තම හිතවත් වෛද්‍යවරයකු වූ වෙනුර විසින් කරන ලද ආරාධනයකට අනුව ගාල්ලට පැමිණ තමන් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බවයි.
අද උදෑසන සිට වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මෙම එන්නත් හොර පාරේ යැවීම සිදුකළ අතර කොළඹ සිට පැමිණි වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බව අප කවුරුන්දැයි නොදන් උණවටුන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවකයකු අප සමඟ පැවසුවේය.
රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතිද්දී එන්නත් ලබාගැනීමට මොවුන් කොළඹ සිට ගාල්ලට පැමිණියේ කෙසේ ද යන්න ගැටලුවකි.
මේ ස්ථානයේ වසංගත රෝග වේදඥ වෙනුර කේ. සිංගාරච්චිට අමතරව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න ද එම ස්ථානයේ සිටියේය.
මේ එන්නත් ජාවාරම ගැන සෞඛය ඇමති, සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනියගේ අවධානය යොමු විය යුතු බව අප සිහිපත් කරන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ලේ ප්‍රබලකු මේ ආකාරයට නීති විරෝධී ලෙස එන්නත් ජාවාරමක් සිදුකිරීම පිළිබඳ ඔවුන්ගේ මතය ද දැනගැනීමට අපි කැමැත්තෙමු.
රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය, වෛද්‍ය වෙනුර සිංගාරච්චි හෝ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න විසින් මේ පිළිබඳ යම් පැහැදලි කිරීමක් කරන්නේ නම් එම පැහැදිලිකිරීම් ද මෙහි පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.
(මෙහි පහතින් දක්වා ඇති ඡායාරූපවල ඇත්තේ මේ ස්ථානයෙන් එන්නත් ගැනීමට පැමිණි රථවාහනවල ඡායාරූපයි)















