අදින් හරියටම වසර 40කට පෙරාතුව 1981 ජුනි මාසයේ 04 වැනි දා යාපනයට වෙනද වගේම හිරු පායා ආවා. එදා යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වෙන දිනය.
මේ මැතිවරණ කොල්ල කෑමට පාලක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරු ඇතුළු විශාල පිරිසක් යාපනයට ගොස් තිබුණා. ඔවුන් සංවිධානාත්මක මැතිවරණ කොල්ලයකට සූදානම් වුණත් යාපනයේ ජනතාවට හැකියාව ලැබුණා තමන්ගේ ඡන්ද බේරාගැනීමට. යාපනය සංවර්ධන සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ඇප පවා අහිමිවෙද්දී ඔවුන් මේ රටේ සිදුවූ බිහිසුණුම යුද්ධය නිර්මාණය කරන්න වස්තු බීජ සැපයුවා.
දෙමළ ඊළමක් ගැන එක්තරා තරුණ පිරිසක් අදහස් ප්‍රකාශ කළත් යාපනයේ සිටි සාමකාමී දෙමළ ජනතාව බහුතරයක් ඊට කැමැත්තක් දැක්වූයේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මැරයන් කළේ මහා දැනුම් සම්භාරයක් ගබඩා වී තිබූ යාපනයේ හදවත බඳු යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම. එදා යාපනය පුස්තකාලයේ බුර බුරා නැගුණු ගින්න 1983 කළු ජූලියත් සමඟ ඇදී ගියේ අතිශය බිහිසුණු යුද්ධයකට.
මේ යුද්ධයෙන් අපි හැමෝම බැට කෑවා. ජීවිත දහස් ගණනක් අහිමිවුණා. උතුරේත් දකුණේත් යුද්ධයේ පීඩනයට හසුවූ පිරිස් තවමත් ඒ භයංකර අතීතය මෙනෙහි කරනවා.
යාපනය පුස්තකාල ගිනි තියන අයුරු සියැසින් දුටු පුද්ගලයෙක් රටේ දකුණු කෙළවරේ ජීවත් වෙනවා. ඔහු ඩී.ඩබ්ලිව්.සිරිමාන්න. සිරිමාන්න කියන්නේ යාපනය මහ නගර සභාවේ සිටි අවසාන සිංහල සේවකයා. ඔහු යාපනයේ පුස්තකාල ගිනිතැබූ ආකාරය පිළිබඳ සිය මතකය අවදි කළා.



