-4.8 C
New York

කොරෝනා සුව වුණත් මරුගෙන් ගැලවීමක් නැද්ද ? පර්යේෂකයන්ගේ අවධානය අවශ්‍යයි

Published:

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වෙමින් තිබේ.

මේ අතරින් ප්‍රධාන වන්නේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත් පළමු බෞද්ධ භික්ෂුව වූ බද්දේගම සමිත හිමියන්ගේ අභාවයයි. අපවත්වන විට 69 වැනි වියේ පසු වූ බද්දේගම සමිත හිමියෝ කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලැබූහ. ඉන් පසු සුවය ලැබූ හිමියන්ට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු කරගැනීමෙන් පසු රෝහලේ පිටවයාමට හැකිවියි.

තමන් වාසය කරන විහාරස්ථානයට ගොස් එහි සිටිය දී බද්දේගම සමිත හිමියෝ යළි ශ්වසන අපහසුතාවලින් පෙළීම හේතුවෙන් පුද්ගලික රෝහලකට ඇතුළත් වූ අතර මාතර ආසිරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අපවත්වූහ. මේ අපවත්වීම ගාල්ලේ ජනතාවට තිගැස්මක් ඇති කළ අතර තම දේහය වෛද්‍ය පීඨයට භරදෙන ලෙස හිමියන් කර තිබූ ඉල්ලීම පවා නොතකා කොරෝනා ආසාදිත මළ සිරුරක් ආදාහනය කරන ආකාරයෙන් හිමියන්ගේ දේහය බද්දේගම ආදාහනාගාරයේ දී ආදාහනය කිරීමට සිදුවිය.

ඉන් පසු තවත් එවැනිම මරණ දෙකක් වාර්තා වෙයි. ඒ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

හික්කඩුවේ වවුලගොඩ පදිංචි 73 හැවිරිදි කන්තාවක් කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පසුගිය මැයි 20 වැනි දා යළි නිවසට පැමිණ සිටිය දී මැයි මස 31 වැනි දා මියගියාය.

එදිනම එනම් මැයි 31 වැනි දා බූස්ස විජයගම පදිංචි 59 හැවිරිදි පිරිමි පුද්ගලයකු ද මියගිය අතර ඔහු කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා අනතුරුව වලහන්දූව නිරෝධායන මධ්‍යස්ථානයේ ද සිට මැයි මස 28 වැනි දා නිවසට පැමිණ තිබිණි.

එම මරණ දෙක සම්බන්ධයෙන් රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගාරිකා නිල්මිණි හදිසි මරණ පරික්ෂණ පවත්වා ඇති අතර එම මරණවලින් ලබාගත් ජෛව සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණ දෙක අනුව ඔවුන් මියයනවිටත් කොරෝනා ආසාදිතව සිටි බව තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි පවසයි.

Related articles

Recent articles

spot_img