කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් 09ක සෞඛ්‍ය සේවකයෝ අද (03) පැය 04ක සංකේත වැඩ වර්ජනයක යෙදී දහවල් 12.00 උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
කොරෝනා රාජකාරී ඉටුකිරීමේ දීතමන් මුහුණ දී සිටින ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙ ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
පරිපූරක වෛද්‍යවරු, අතුරු වෛද්‍යවරු, හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, රියදුරු හා ලිපිකරු යන සේවාවන්හි වෘත්තිය සමිති 20ක් පමණ මෙයට සහය දැක්වූහ.
කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් සඳහා සේවය සැපයීමේ දී රෝහල් සේවකයන්ට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දෙන ලෙසත් රෝගීවන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රතිකාර ලැබීමේ හා ආශ්‍රිත වන පවුල් සාමාජික සාමාජිකාවන් සඳහා නිරෝධායනය වීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකසන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
එමෙන් ම කොරෝනා එන්නත නොලැබුණු සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් තවමත් සිටින බැවින් ඔවුන්ට වහාම එන්නත් ලබාදෙන ලෙසත් වෛද්‍යවරුන්ගේ නිවාසවල සිටින සේවකයන් පවා එන්නත් කළ පසුබිමක තම පවුල්වල බිරිඳ හෝ සැමියා සහ දෙමාපියන්ට ලබාදිය යුතු බවත් වර්ජනයට හා උද්ඝෝෂණයට සහභාගී වූ මෙම සෞඛ්‍ය සේවකයෝ ඉල්ලා සිටියහ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කරාපිටිය රෝහලේ සභාපති ප්‍රියන්ත ගාල්ලගේ මෙසේ කීවේය,
“රජයෙන් පැහැදිලිව ම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා ගර්භනී රාජ්‍ය සේවකයන් මේ දිනවල සේවයට කැඳවන්න එපා කියලා. නමුත් සෞඛ්‍ය සේවයේ එම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ගර්භනී සේවිකාවන් කැඳවනවා. මෙතැන තිබෙන බරපතලම ගැටලුව වන්නේ මේ ගර්භනී සේවිකාවන් සෘජුවම කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සමඟ සේවය කිරීම. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා අනිත් කාර්යාලවල සිටින ගර්භනී කාන්තාවන් ආරක්ෂා කරනවා වගේම සෞඛ්‍ය සේවයේ ගර්භනී කාන්තාවන් ද ආරක්ෂා කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල සේවය කරනවාට දීමනාවක් ගෙව්වා. දැන් ඒ දීමනාව කප්පාදු කරලා තියෙනවා. මේ දීමනාවත් ගෙවන්න කියා අපි ඉල්ලා සිටිනවා.”
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, යාපනය ශික්සණ රෝහල, ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල, රත්නපුර මහ රෝහල යන රෝහල්වල ක්‍රියාත්මක කෙරිණි.

