-2.1 C
New York

කොරෝනා ආසාදිත මළ සිරුරක් ඥාතීන්ට දීලා. සිරුර එම්බාම් කර මල් ශාලාවේ

Published:

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ ජාතික රෝහලෙන් ඥාතීන්ට භාර දී නිට්ටඹුවේ මල් ශාලාවකට ගෙන ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, උදම්විට පදංචි 49 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළුවූවාය. ඉන් පසු ශල්‍ය කර්මයක් සිදුකිරිමෙන් පසු නිවසට ගිය ඇය යළි අසාධ්‍යවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කර තිබිණි. මේ අවස්ථාවේ දී කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබුණේ ඇයට කොරෝනා ආසාදනය වී නැති බවයි.

ඇයගේ රෝගී තත්ත්වය ඇතිවූයේ කොරෝනා හේතුවෙන් යැයි සැකසිතූ දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය නැවත පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර ඇත. නමුත් එහි ප්‍රතිඵල ලැබීමට 27 වැනි දා ඇය මියගියාය.

ඇය රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදුකරනු ලැබූ ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල සැළකිල්ලට ගනිමින් ඇගේ සිරුර හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ඥාතීන්වෙත භාර දී ඇත.

මේ අතර අද (30) උදෑසන ඇගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය ලැබී තිබූ අතර ඇය මියයන අවස්ථාව වනවිට කොරෝනා ආසාදිත බව ඉන් තහවුරු වී තිබේ. ‍

මෙම වාර්තාව ලැබීමත් සමඟ ඇගේ සිරුර පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ එය මේ වනවිට නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර තිබෙන බවයි. එම සිරුර මල් ශාලාවේ සිට නිවසට ගෙන නොයන ලෙස දැනුම් දී ඇති අතර දේහය සම්බන්ධ අවසන් තීරණය දැනුම් දෙන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related articles

Recent articles

spot_img