චීනය ලෝකය පුරා වරාය අත්පත් කරගනිමින් සිය අධිරාජ්‍යය ගොඩනැගීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. අදින් වසර 700කට පමණ පෙරාතුව අතීතයේ දී ද චීන අධිරාජ්‍යය ලොව පුරා වරාය අත්පත්කරගත්හ. චීන පර්යේෂකයන් පවසන්නේ එකළ චීන අධිරාජයා ලෝකය පුරා ප්‍රධාන වරාය 120ක් අල්ලාගෙන තිබූ බවයි. ඒ අතරින් ලංකාව ඉතාමත් වැදගත් ස්ථානයක් වන්නට ඇති බව ද ඔවුහු කියති.
එකල ලෝකයේ සුවිශේෂීතම වරායක් වූයේ ගාල්ල වරායයි. ගාල්ල යනු මෙරට අතීත වරාය නගරයකි. වරාය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු නගරය යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු වෙනස්කම් රැසකට භාජනය වුව ද ඊට පෙර චීනය ගාල්ල ආක්‍රමණය කර තිබූ බවට සාක්ෂි තිබේ.
අද චීන භාෂාව ඉගෙන ගත යුතු යැයි බොහෝ දෙනකු පැවසුව ද අතීතයේ දී ද එවැනිම තත්ත්වයක් උද්ගත වී තිබූ බව ද අපට ඉතිහාසයෙන් ලිඛිත සාක්ෂි ලැබේ. මේ සාක්ෂිය ගලේ කෙටූ සාක්ෂියකි. එහි සිංහල භාෂාවට කිසිදු තැනක් තිබී නැත. චීන, පර්සියන් හා දෙමළ භාෂා ප්‍රමුඛත්වය ගෙන තිබේ.
එමගින් හෙළිවන ඉතිහාස කතාවෙන් තහවුරු වන්නේ චීන අධිරාජ්‍යයට එරෙහි වූ රජු අත්අඩංගුවට ගෙන රැගෙන යාමට පවා චීනය කටයුතු කර ඇති බවයි. ඉන් පසු මෙරට රාජ්‍යත්වයට පත්වූවෝ චීනයට පවා සංචාරය කරමින් ඔවුන් සමඟ විශේෂ සම්බන්ධතා ගොඩනගාගෙන සිටි ආකාරයත් ඉන් හෙළිදරව් වෙයි. දැන් සිදුවන්නේ ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන බවයි.
ගාල්ල ක්‍රිප්ස් පාරේ බෝක්කුවක් අලුත්වැඩියා කරමින් සිටි එච්.එෆ්.ටොමලින්සන් නමැති ප්‍රාදේශීය ඉංජිනේරුවරයට බෝක්කුව යට ඇති අමුතු හැඩයක් ගත් ගලක් දක්නට ලැබිණි. එය අනෙක් පැත්ත හරවන ලෙස ඔහු සේවකයන් කිහිප දෙනෙකුට අණ කළේය. තැවරී තිබූ මඩ ඉවත් කළ විට භාෂා තුනකින් යුතු සෙල්ලිපියක් මතුවිය.
1911 වර්ෂයේ දි ගාල්ලෙන් සොයාගත් ත්‍රෛභාෂා ශිලාලිපියයි. චීන, පර්සියන් හා දෙමළ භාෂාවෙන් ලියා ඇති මේ සෙල්ලිපිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිෂ්ඨානයක් සනිටුහන් කරන්නකි. ශ්‍රීමත් එඩ්මන් බැකවුඩ් එහි චීන භාෂා කොටස මුළින්ම පර්වර්ථනය කළ අතර එහි සදොස් තැන් ද සළකා බලමින් පසු කාලයක ඊවා නාජේල් විසින් එය නැවත පරිවර්ථනය කර තිබේ. එම කොටසේ දැක්වෙන්නේ රත්තරං කෑලි 1000ක්, රිදී කෑලි 5000ක්, එම්බ්‍රොයිඩර් කරන ලද සිල්ක් රෙිද තොග පනහක්, මැණික් එබ්බවූ පතාක හතරක්, එම්බ්‍රොයිඩර් වැඩ දැමූ පතාක හයක් සහ තඹ සුවඳ දැල්වුම් පහක්, රන් ආලේපිත මල් බඳුන් පහක්, තඹ ලාම්පු පහක්, පඬුරු ලෙස එවා ඇති බවයි. එමෙන් ම ශ්‍රී පාදයේ දී බුදුන්ට කරන ලද පුද පූජා ගැන ද එහි දැක්වේ.
අඩි 04යි අඟල් 09ක් දිග හා පලල අඩි 02යි අඟල් 06ක් වන මේ ශිලා පුවරුවේ ඝනකම අඟල් පහකි. එහි දෙමළ අක්ෂර විවරණය කරන මාහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ ක්‍රිස්තු වර්ෂ 1403 දී හෙවත් චීනයේ යුං ලෝ අධිරාජයාගේ රාජ්‍යාද්‍යයෙන් සත්වැනි වර්ෂයෙහි දෙවැනි මාසයේ ලංකාවේ තේනවරෛ නායනාර් දෙවියන්ගේ (දෙවුන්දර විෂ්ණු දේවාලයේ) ප්‍රසිද්ධිය අසා නානාවිධ පූජෝපහාර එවූ බව එහි සඳහන්ව ඇති බවයි.
එමෙන් ම චිං වො හා උවිං චුවිං යන තානාපති දෙදෙනා අත මේවා එවූ බව ද එහි සඳහන්ව තිබේ.
පර්සියන් බසින් ලියන ලද කොටස ඉන්දියාවේ පුරාවිද්‍යාඥ ගුලාම් ලක්ස්ඩානි විසින් කියවන ලදී. ඔහු පවසන්නේ අල්ලා දෙවිය්නට කළ පූජාවක් ගැන එහි සඳහන් වන බවයි. ඉස්ලාම් වචනය, මුස්ලිම් පූජකයන් සහ අනාගත වාක්‍යකරුවන් ැන ද ඉන් කියවෙන බව ගුලාම් පවසා තිබේ.
මෙම ත්‍රෛභාෂා සෙල්ලිපිය කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ආගන්තුක භාෂා තුනකින් ලියා ඇති මේ සෙල්ලිපිය පිළිබඳ සොයා බැලීමේ දී ශ්‍රී ලංකාවේ සැඟව ගිය අපූරු සිදුවීම් මාලාවක් අනාවරණය කර ගැනීමට හැකිවේ.
The year China Discovered the world චීන ජාතිකයන් ලෝකය සොයාගත් වසර නමැති ග්‍රන්ථය ලියන ගාවින් මෙන්සි මේ සෙල්ලිපිය ගැන සඳහන් කර ඇත.
1937 වර්ෂයේ දී උපත ලැබූ මෙන්සි රාජකීය නාවික හමුදාවේ සබ්මැරීන් අණදෙන නිලධාරීවරයෙකි. කණිෂ්ඨ නිලධාරීවරයකු වශයෙන් සිටියදී කොළම්බස්ගේ ලෝකය, වස්කෝද ගාමා ගේ ලෝකය ගැන දැඩි අධ්‍යයනයක් කළ ඔහු මැගලන් හා ජේම්ස් කුක් ගේ දේශගවේෂණ ගැන ද දැඩි උනන්දුවක් දැක්වූයේය. එම මාර්ගවල ගමන් කිරීමට ද රාජකාරී කාලයේ දී ම වාසනාව ලැබූ ඔහු රාජඛීය නාවික හමුදාවනේ ඉවත්ව චීනයට ගොස් එම ග්‍රන්ථය ලියා තිබේ.
1421 ලෙස නම් කර ඇති එම ග්‍රන්ථය ලිවීමට පෙර චීන අධිරාජ්‍යයේ බලපෑමට හසුවූ වරාය 120කට පමණ යාමට මෙන්සි සමත් වී ඇත. එමෙන් ම ලොව පුරා කෞතුකාගාර හා පුස්තකාල 900කට පමණ ගොස් පොත් පත් පරිශීලනය කිරීමටත් ඉතිහාසය හැදෑරීමටත් ඔහුට අවස්ථාව ලැබී තිබේ.
ඒ අනුව ඔහු තම ග්‍රන්ථයේ චීන අධිරාජ්‍යය ගොඩනැගූණු ආකාරය මනාව විස්තර කරයි.
චීනයේ තිබූ මිං නමැති අධිරාජ්‍යයේ තුන්වැනි මිං අධිරාජ්‍යයා බවට පත්වන්නේ ෂූ ඩි නමැති රජුය. පෙරදිග පැවැති ඉතා වටිනා වෙළඳ මධ්‍යස්ථානයක් වූ ලංකාවේ දෙවුන්දර ඇති විෂ්ණු දේවාලයේ කීර්තිය ඇසූ මිං අධිරාජ්‍යයා දෙවුන්දර දේවාලයට හා ශ්‍රී පාදස්ථානයට පුද පූජා පැවැත්වීමට තීරණය කර ඇත. ඔහු ඒ සඳහා යොදවාගෙන ඇත්තේ තමන්ට ඉතා සමීප ෂෙං හෝ නමැති සෙන්පතියාය.
චීන මූලාශ්‍ර අනුව ෂෙං හෝ ගාල්ල වරායට සේනුද වන්නේ 1405 වර්ෂයේ දී ය. එහෙත් සෙල්ලිපියේ සඳහන් වන්නේ ඔවුන් 1403 දී ලංකාවට පැමිණි බවයි. සෙල්ලිපිය චීනයේ කොටවා මෙරටට ගෙන්වන්නට ඇතැයි යන්න මතයක් පවතී. ඒ අනුව 1403 දී කොටවන ලද සෙල්ලිපිය 1405 දී මෙරටට ගෙන එන්නට ඇත. නමුත් මෙම මතය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කර ඇති ගාවින් මෙන්සි පවසන්නේ ෂෙං හෝ ලංකාවට පැමිණි නෞකාවල සෙල්ලිපි සකස් කරන ශිල්පීන් ද පැමිණ ඇති බවයි.
ෂෙං හෝ සමඟ මා හුආන් නමැති මුස්ලිම් භාෂා පරිවර්ථකයෙක් ද පැමිණි බවට සාධක තිබේ. ඔවුන්ගේ දේශාඨන චාරිකාවල සඳහන් වන්නේ ඔවුන් ලංකාවට පැමිණෙන කාලයේ දී ගාල්ල අවට ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් බහුලව සිටි බවයි. ලංකවේ වෙළෙඳාම එකල මුසිල්ම් ජාතිකයන් අත තිබෙන්නට ඇත. එමෙන්ම චීන ජාතියන් පවසන්නේ ඔවුන් මෙරටට පැමිණෙන විට ලංකවේ ප්‍රධාන ආගම වූයේ හින්දු ආගම බවයි. පොළොන්නරුවට හින්දු බලපෑම තිබෙන බව අදට ද දැකිය හැකි නෂ්ඨාවශේෂ සාක්ෂි දරයි. එමෙන් ම කාලංග මාඝ විසින් පොළොන්නරුව විනාශ කිරීමෙන් පසු හින්දු ආගම ලංකාව පුරා පැතිරෙන්නට ඇති බවට මෙම චීන සාධක ද සාක්ෂි සපයයි.
චීනයෙන් පැමිණි සේනාවක් සිංහල රජු චීනයට පැහැරගෙන ගිය බව ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැදගත් ග්‍රන්ථයක් වන රාජාවලියේ සඳහන් වේ. එය සිදුකර ඇත්තේ මිං අධිරාජයාගේ උපදෙස් මත ගාල්ල වරායට පැමිණි ෂෙං හෝ සෙනෙවියා විසිනි.
ගාල්ලට පැමිණි ෂෙං හෝ සිංහල රජු සමඟ සම්බන්ධතා ඇතිකරගැනීමට උත්සාහ ගත් බවත් එයට රජු විරුද්ධ වූ බැවින් ෂෙං හෝ විසින් රජු පැහැරගෙන චීනයට ගෙන ගිය බවත් චීන ග්‍රන්ථයන්හි සඳහන් වේ.
රාජාවලියට අනුව දඹදෙණියේ රජ කළ හතරවැනි විජයබාහු රජු චීනයට ගෙනගොස් තිබේ. පසු කලෙක ඒ පිළිබඳ සටහනක් තබා ඇති පෘතුගීසි ලේඛක කූටෝ මේ බව සනාථ කරයි. එහෙත් එම වකවානුවේ ලියැවී ඇති සද්ධර්මරත්නාකර නම් ග්‍රන්ථය චීන වාර්තා සමඟ මනාව එකඟ වෙයි. එම ග්‍රන්ථය හා චීන වාර්තා අනුව එරටට රැගෙන ගිය සිංහල රජු වීර අලකේශ්වර හෝ අලගක්කෝනාර වියයුතු යැයි මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතයයි.
මහාවංශයට අනුව හතරවැනි විජයබාහු රාජ්‍ය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1285 සිට වසර දෙකකි. ඒ අනුව චීනයට රැගෙන ගිය රජු ඔහු විය හැකි ද යන්න ගැටලුවකි. මාහචාර්ය පරණවිතාන දක්වන අලකේශ්වර හෝ අලගක්කෝනාර යන නම් ඇති අයකු අපට හමුවන්නේ 1351 වර්ෂයෙන් පසුවය.
අලගක්කෝනාර නම් ප්‍රභූරාජ තෙමේ පේරාදෙණි පුරයේ වාසය කළේය යනුවෙන් මහා වංශයේ සඳහන් වේ. ඔහු කැලණි පුරය අසළ ජයවර්ධන කෝට්ටේ නම් රාජධානියක් ගොඩනැගූ බව ද දැක්වේ. ඇතැමුන් පවසන්නේ අලගක්කෝනාර පසු කළෙක පස්වැනි බුවනෙකබාහු නමින් රජවී ඇති බවයි. ඔහුගේ රාජ්‍ය කාලය පිළිබඳ කිසිදු ස්ථිර නිගමනයක් නැත. පස්වැනි බුවනකබාහුගෙන් පසු වර්ෂයක් සඳහ්න නොවූ දෙවැනි වීරබාහු නම් රජකෙනෙකු ගැන මහාවංශයේ සඳහන් වේ. අලගක්කෝනාර යනු ලංකාවේ රාජ පරම්පරා නාමයකි.
පසුව අලගක්කෝනාරගේ පුතු වීර අලකේශ්වර සටනකින් රාජ්‍යය ගෙන හයවැනි විජයබාහු ලෙස කෝට්ටේ රජවීයැයි ද ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව චීනයේ ඇති ලංකාව පිළිබඳ සඳහන් ලේඛන සත්‍යයක් වේ. අලගක්කෝනාර යනු පෙළපත් නාමයයි. ඒ පවුලේ වීර අලකේශ්වර පසුව විජයබාහු නමින් රජ වී ඇත. චීනයට රැගෙන යන ලද්දේ වීජයබාහු නම් රජකු යැයි සඳහන් කරන ලේඛනයන්හි අලගක්කෝනාර හා අලකේශ්වර යන නම් ද සටහන්ව තිබේ. මේ නම් තුනම භාවිතයේ තිබුණු රජු වන්නේ කෝට්ටේ රජ කළ හයවැනි විජයබාහු රජු පමණි. ඒ අනුව ෂෙං හෝ විසින් පැහැරගෙන ගොස් ඇත්තේ දඹදෙණියේ රජකළ හතරවැනි විජයබාහු නොව කෝට්ටේ රජකළ හය වැනි විජයබාහු විය යුතුය.
ලංකාවෙන් අල්ලාගත් රජු හා රජ පවුලත් සේවක සේවිකාවන් ද රැගත් ෂෙං හෝ සෙනෙවියා නැවත සිය රට බලා ගොස් ඇත්තේ ජයග්‍රාහී ආකාරයෙනි. ෂෙං හෝ චීනයට ගිය වහාම තම සිරකරුවන් අධිරාජ්‍යයා ඉදිරියට පමුණුවා අධිරාජ්‍යයාගේ අණ පිළිනොගත් බැවින් මොවුන් ජීවග්‍රහයෙන් ගෙන ආ බව පවසා තිබේ.
අධිරාජ්‍යයා වහාම තම අමාත්‍ය මණ්ඩලය රැස්කළේය. ලෝකයේ වෙළෙඳාම සම්බන්ධයෙන් ඉතාත්ම වටිනා රජ්‍යයේ රජු සහ පවුලේ උදවියත් සේවක සේවිකාවන් ද රැගෙන විත් ඇතැයි පැවසූ අධිරාජ්‍යයා ඔවුන්ට කුමන ආකාරයෙන් සැළකිය යුතුදැයි අමාත්‍යවරුන්ගෙන් විමසා තිබේ. ඒ අවස්ථාවේ අමාත්‍ය තීරණය වී ඇත්තේ චීන අධිරාජ්‍යයාට එකඟ නොවූ ඔවුන් මරා දැමිය යුතු බවයි.
එහෙත් අධිරාජ්‍යයා සිංහල රජු හෝ පවුලේ උදවිය මරා දැමීමට එකඟ වී නැත. ඔවුන්ට ජීවිත දානය දුන් ඔහු පවසා ඇත්තේ ආහාර වස්ත්‍රාභරණ ඇතුළු සියළු පහසුකම් දී එහි වාසය කරන්නට ඉඩ සැලැස්විය යුතු බවිය. එමෙන් ම අරාජික වූ ලංකාවේ රාජ්‍යත්වයට සුදුසුම අනුප්‍රාප්තිකයකු තෝරා අභිෂේක කළ යුතු බව ද චීන අධිරාජ්‍යයාගේ තීරණය විය.
චීන අධිරාජ්‍යයාගේ වාර්තාවල සඳහන් කර ඇති වූ හියෝ පිං නමැති ලේඛන හා පුලාකෝමාර්, බසාලාව චාර් යන දෙදෙනාගේ ලේඛකන අධ්‍යයනය කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන‍්නේ චීන අධිරාජ්‍යයාගේ ද ආශිර්වාදය ඇතිව හයවැනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍යත්වයට පත්ව ඇති බවයි. මහාවංශයේ දැක්වෙන්නේ ඔහු ක්‍රිස්තු ව්ෂ 1410 දී රජ පැමිණි බවකි.
චීන අධිරාජ්‍යය ගැන අධ්‍යයනය කළ ගාවින් මෙන්සි මෙහි දී අපූරු තොරතුරක් ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ ලංකාවේ රජ කළ අධිරාජ්‍යයකු ක්‍රිස්තු වර්ෂ 1416ත් 1421ත් අතර කාලයේ චීනයට පැමිණ මිං අධිරාජ්‍යයා හමු වූ බවකි. නමුත් මෙම වකවානුවේ ලංකාවේ අධිරාජ්‍යයකු බිහි වී නැත. හයවැනි පරාක්‍රමබාහු රජු ඒ වනවිට කොටස් වලට වෙන්ව තිබූ සිංහල රාජධානිය නැවත එක්සේසත් කළ බැවින් චින ජාතිකයන් ඔහු අධිරාජ්‍යයකු ලෙස හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය.
කරුණු එසේ වුව ද හයවැනි පරාක්‍රමබාහු රජු චීන අධිරාජ්‍යයා හමුවීමට චීනයට ගිය බවට කිසිදු ඓතිහාසික සාධකයක් ලංකාවේ නැත. එහෙත් ගාවින් මෙන්සි පවසන්නේ ලංකාවේ අධිරාජයා සමඟ ගිය දූත පිරිස ජාවා දූපතට ගොඩ බැස චීන අධිරාජයාගෙන් උපාහර ලැබූ බවයි.
ලංකාවේ රජු පැහැරගෙන ගිය ෂෙං හෝ 1431 දී නැවත ලංකාවට පැමිණ තිබේ. එවර චීනයෙන් මිතු දම පිළලිබඳ සංදේශයක් හා තෑගි බෝග රැසක් රැගෙන ඔහු පැමිණි බව චීන වාර්තාවල දක්වා ඇත. සිංහල රජු චීනයට පැහැරගෙන යාම හෝ පරාක්‍රමබාහු රජු චීනයේ සංචාරයක යෙදීම යන කරුණු අපේ ඉතිහාසයෙන් බොහෝ ඈත්වී තිබුණ ද ගාල්ල නගරයෙන් හමු වූ සෙල්ලිපිය ඒ සැඟවුණු ඓතිහාසික සිදුවීම් මාලාව පිළිබඳ නිහඬ සාක්ෂියක් සපයයි.