ගිනි ගනිමින් පවතින X-Press Perl නැව හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නැවේ ගින්න දිගටම පවතින අතර එහි අද (25) උදෑසන සිදුවූ පිපිරීමකින් බහාලුම් 08ක් මුහුදට වැටී තිබේ. ඒවායේ ද රසායනික ද්‍රව්‍ය ඇති බව පැවසේ.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙලෙස මුහුදට එකතු වූ ආගන්තුක ද්‍රව්‍ය කොළඹ සහ මිගමුව අවට මුහුදු වෙරළට පාවී පැමිණිය හැකි බැවිබවයි. එවැනි ද්‍රව්‍ය දුටුවහොත් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ද ප්‍රදේශවල ජනතාවට සහ ධීවරයන්ට දැනුම් දී ඇත.
නැවේ ඇති බහාළුම් පිපිරීයාමට ඉඩ ඇති බැවින් ඉතා භයානක තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර නැවේ තෙල් කාන්දුවක් ද නිරීක්ෂණය කර තිබේ. එමෙන් ම මුහුදට එකතු වූ ද්‍රව්‍ය කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වෙරළතීරයට පාවෙමින් පවතින බව ද නිරීක්ෂණ්‍ය කර තිබේ.
පවතින දැඩි සුළං තත්ත්වය නැවේ ගින්න පාලනය කිරීම සඳහා විශාල බාධාවක් වී ඇති අතර මේ වනවිට නැවේ ගින්න හේතුවෙන් හටගෙන ඇති දුමාරය ද ගොඩබිම දෙසට පැමිණීමේ අවදානමක් ඇති වී තිබේ.
නැවේ බහාළුම් 1486ක් ඇති බවත් නැව මේ ආකාරයෙන් ගිනිගෙන ගිලී ගියහොත් කොළඹ වරාය ආසන්න සමුද්‍ර පරිසරයට අති විශාල බලපෑමක් ඉන් එල්ලවිය හැකි බවත් සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය පවසයි.
නාවික හමුදාව පවසන්නේ නැවේ ඉදිරිපස කොටසේ ඇති වූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නැවේ පිටුපස කොටසට ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි. ගින්න පාලනය සදහා සහායවීමට ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රාවක්, ඩෝනියර් ගුවන් යානාවක් හා ටග් යාත්‍රාවක් ද කොළඹට පැමිණෙමින් තිබේ.
