spot_img
spot_imgspot_img

අඛණ්ඩ සංචරණ සීමා ඉල්ලා වෛද්‍ය සංගම් එකට එක්වෙති

පුවත්

විදෙස්

දැනට නිවේදනය කර ඇති පරිදි සංචරණ සීමා ලිහිල් නොකර අවම වශයෙන් තවත් දින 14ක් සංචරණ සීමා පවත්වාගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු පවසයි.

ඔහු පවසන්නේ පසුගිය සතිවල දින කිහිපයක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව සිදුරකන ලද දෙයක් බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි දුටුවා පසුගිය දවස්වල සංචරණ සීමා දැම්මා. නමුත් එය ප්‍රායෝගිකව සාර්ථක දෙයක් නෙවෙයි. අත්හදා බැලීමක් වුවත් විද්‍යාත්මක විය යුතුයි. අපි රජයෙන් ඉල්ලා සිටිනවා දැනට දැනුම් දී තිබෙන ආකාරයට අද සිට පැනවෙන සංචරණ සීමා අඟහරුවාදාට ඉවත් කරන්න එපා. මේ දවස් පහේ දී ගන්න ප්‍රයෝජන ඒ දවසේ දී නැතිව යනවා. ඒ නිසා මේ වසංගතය පාලනය කරන්න නම් අවම වශයෙන් දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පවත්වාගෙන යා යුතුයි. නැතිනම් දවසක දී මියයන සංඛ්‍යාව සිය ගණනක් වෙන්නත් පුළුවන්.”

ඔහු මේ බව කියා සිටියේ අද (21) කොළඹ දී වෛද්‍ය සංගම් 04ක් ඒකාබද්ධ වී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න පවසන්නේ දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම වන බවය.

“දවස් තුනක් හෝ පහක් සංචරණ සීමා දාලා මේ වසංගතය පාලනය කරන්න බැහැ. මේ සංචරණ සීමා අතරතුර කාලයේ යළි රට විවෘත වූ වහාම එදාට අති විශාල පිරිසක් එළියට ඇවිත් යළි එකතුවෙනාව. නැවත රෝගය බෝ වෙනවා. දින 14ක් ජනතාව ගෙවල්වලට කොටුකර තැබිය යුතුයි.”

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට ඉතා වේගයෙන් ළඟාවෙමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න කීවාය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව යන සංගම් නියෝජිතයෝ එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!