-5.9 C
New York

ගාල්ල නගර සභාවේ සායන සියල්ල අඟුළු දමයි. වෛද්‍යවරු ඉවත් කරයි ?

Published:

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් පවත්වාගෙන ගිය සියලුම සායන අද (19) උදෑසන දොරගුළු දමා වසා තිබිණි.

නගරාධිපති ප්‍රියන්ත සහබන්දු විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස සායනික පරිශ්‍රයන් වසා දමා තිබුණු අතර වෛද්‍ය සරා බර්ට්‍රම් ද සිල්වා සහ වෛද්‍ය චන්දන සේනානායක මහ නගර සභා‍ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රාජකාරී කටුයතුවලින් ඉවත්කර ඇති බව දැක්වෙන බැනරයක් ද මහ නගර සභාව ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබිණි.

මේ අනුව අද ගාල්ල මහ නගර සභාවේ සායන පරිශ්‍රයන් 12 ම වසා දමා තිබූ අතර ඒ කිසිම ස්ථානයක සායනික කටයුතු සිදුකෙරුණේ නැත.

මේ සම්බන්ධයෙන් විස්තර දැනගැනීම සඳහා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත. නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස්ගෙන් විමසීමේ දී කියා සිටියේ මහ නගර සභාවේ වෛද්‍යවරු තමන් සමඟ ඇති වූ ගැටලුවක් පදනම් කරගනිමින් දිගින් දිගටම සේවයෙන් ඉවත්ව සිටි බවයි. ඉන් පසු දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද උපදෙස් සහිතව ඔවුන් වෙනම පරිශ්‍රයකට වී රාජකාරී කටයුතුවල යෙදීමට උත්සාහ දරණ බවත් ඒ සඳහා නගර සභාවේ අනුමැතියක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

වෛද්‍යවරුන් නගර සභාවෙන් ඉවත්වී සිටීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් ගෙවීම ද නගර සභාව විසින් නවතා තිබිණි. මේ අතර එම වෛද්‍යවරුන්ගේ පුද්ගලික ලිපිගොනු සයිල්ල ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට කැඳවා තිබූ අතර ඔවුන්ට වැටුප් ගෙවීමේ වගකීම ද එම කාර්යාලයට ම පවරා තිබේ. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද වෛද්‍යවරු විසින් පවත්වාගෙන යන කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කර තිබූ බැවින් මාස තුනක කාලයක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂවකරු පිරිසක් එම ස්ථානයට අනුයුක්ත කර තිබිණි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසන්නේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහා වෛද්‍යවරු දෙදෙනකු බඳවා ගැනීමට ඉල්ලුම්පත්‍ර කැඳවා ඇති බැවින් එම බඳවා ගැනීම් ඉදිරි දින කිහිපයේ දී සිදුකරන බවයි. එබැවින් මෙතෙක් සිටි වෛද්‍යවරු දෙදෙනා නගර සභාවේ සේවය හැර ගොස් ඇතැයි සළකන බව ද හෙතෙම පැවසීය.

මේ පිළිබඳ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර ගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මේ ගැටලුව කාලයක සිට තිබුණා. වෛද්‍යවරු නගර සභාවේ රාජකාරී කරන්න බෑ කියා ඉවත්ව ගියා. සෞඛ්‍ය අංශය මහ නගර සභාවේ. වෛද්‍යවරුන්ට තවදුරටත් මහ නගර සභාවේ සේවය කරන්න බැහැ කියූ නිසා නගර සභාව තීරණය කළා මහ නගර සභා ආඥාපනතේ බලතල අනුව වෛද්‍යවරු නගර සභාවට බඳවාගැනීමට. එය ඉතාමත් ඉක්මණින් සිදුකරනවා. සායනික ස්ථානයන් වසා දැමීමට නගරාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. මේ ගැටලුව අපි ඉතාමත් ඉක්මණින් විසඳනවා”

Related articles

Recent articles

spot_img