ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ පුද්ගලයකු අම්පාර රෝහලේ දී මියයාම හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.
36 හැවිරිදි වියේ පසු වූ මෙම තරුණයා ඊයේ (15) අම්පාර රෝහලේ දී මියගොස් ඇත. මෙම රෝගියා මොළයට විෂබීජයක් යාම හෙවත් මෙනින්ජයටීස් තත්ත්වයෙන් පෙළුණු බව වෛද්‍යවරු පවසති. ඊට අමතරව ඔහු කොරෝනා ආසාදිතයකු ද වෙයි. මොහුගේ මෙනින්ජයටිස් තත්ත්වයට හේතුව දිලීරයකි.
මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන්ගේ දැඩි අවදානයක් යොමුවීමට හේතු වී ඇත්තේ ඉන්දියාවේ කොරෝනා ආසාදනයෙන් මියයන අය අතර මියුකොමයිකෝසිස් නමැති දිලීර ආසාදනය ද දක්නට ලැබීමයි.
වෛද්‍යවරු පවසන්නේ මේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. ඔහුට ආසාදනය වී තිබූ දිලීරය ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන මියුකොමයිකෝසිස් දීලීරය හෝ ඊට සමාන දිලීරයක් ද යන්න හඳුනාගත යුතුය. එමෙන්ම ඔහුට වැළඳී තිබූ කොරෝනා ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය ද යන්නත් පරීක්ෂා කළ යුතුව තිබේ.
ඔහුට වැළඳී ඇත්තේ ඉන්දියාවේ දිලීර සමඟ දක්නට ලැබෙන කොරෝනා ප්‍රභේදය නොවේනම් එම ප්‍රභේදය හා දිලීර ආසාදනය අතර සම්බන්ධතාවක් තිබේද යන්නත් වෛද්‍යවරුන් විසින් සොයා බැලිය යුතුව තිබේ.
මරණයට පත්වූ තරුණයා කොරෝනා ආසාදිතයකු සහ දිලීර ආසාදනය වූ අයකු බවට පත්වූ අයුරින් ඔවුන්ගේ ආශ්‍රිතයන් ද එලෙසම ආසාදනය වන්නේ ද යන්න හා එය ව්‍යාප්තවන තත්ත්වයක් ද යන්නත් සොයාබැලීමට සිදුවනු ඇත.
මේ හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් හා ඒ පිළිබඳ සිදුකරන වැඩිදුර පරීක්ෂණ කෙරෙහි යොමු වී ඇත.
වෛද්‍යවරු පවසන්නේ කොරෝනා නියුමෝනියා තත්ත්වයට ගොදුරු වූ රෝගීන් කිිප දෙනකු ම දිලීර ආසාදන දක්නට ඇති බව වාර්තා වී තිබෙන බවයි. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතී.