ගාල්ල හපුගල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ව්‍යායාම කිරීමට පැමිණ ඊයේ (10) වැටී මියගොස් සිටි පුද්ගලයා කොරෝනා ආසාදනය නොවූ අයකු බවත් ඔහුගේ මරණයට හේතුව වී ඇත්තේ දීර්ඝකාලයක සිට තිබූ හදවත් රෝගයක් හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් බවත් කරාපිටිය රෝහලේ දී පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් සිටියේ කන්දගොඩ ගමගේ නිහාල් නමැති 49 හැවිරිදි එක් දරු පියෙකි. හබරාදුව පශු වෛද්‍ය කාර්යාලයේ මධ්‍යස්ථාන භාරකරු ලෙස රැකියාවේ නිරතව සිටි ඔහු ගාල්ලේ කිතුලම්පිටිය, උළුවිටිකේ පදිංචිකරුවෙකි.
ඊයේ උදෑසන යතුරුපැදියකින් හපුගල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට පැමිණ ව්‍යායාමවල නිරතව සිටිය දී වැටී ඔහු මියගොස් සිටි බව පෝද්දල පොලිසිය කියයි. ඔහු වැටී සිටිනු දුටු පුද්ගලයකු 1990 ගිලන් රථයකට පණිවිඩය දී තිබූ අතර පොලිසිය හා ගිලන්රථය පැමිණ පරීක්ෂා කිරීමේ දී මියගොස් ඇති බව අනාවරණය විය.
දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී තරංග ද සිල්වාගේ නිගමනය වූයේ කාලයක සිට පැවැති හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි.