-5.9 C
New York

දකුණේ ඉඩම් කාර්යාලයේ කොරෝනා ප්‍රශ්නයක්? සේවකයන් ඇවිත් නෑ

Published:

දකුණු පළාත් ඉඩම් කාර්යාලයේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් එම කාර්යාලයේ කොමසාරිස් වරයා සහ තවත් සේවකයකු හැර අන් සියලු දෙනා අද (10) නිවාඩු ලබා නිවෙස්වල නැවතී ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදනය වී ඇත්තේ මිනුම් සහායකයකුට බව සෞඛ්‍ය අංශ පවසයි. එම තැනැත්තාගේ බිරිඳ ‍නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කොරෝනා ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයකු වීම හේතුවෙන් නිවසේ නිරෝධායනයට යොමුකර තිබී ඇත. බිරිඳ නිවසේ නිරෝධායනය වෙමින් සිටිය දී මෙම මිනුම් සහායකයා පසුගිය සිකුරාදා (07) දක්වා සේවයට පැමිණ තිබිණි.

ඉඩම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආසාදිත වූ එම පුද්ගලයා තම රාජකාරියට අමතරව අවසර සහිතව රියදුරකු ලෙස ද කටයුතු කරන බවයි. සේවකයන් පවසන ආකරයට ඔහුට පසුගිය සතියේ ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු තවත් කිහිප දෙනකු ආශ්‍රිතයන් වී තිබේ.

එසේ ආශ්‍රිතයකු වී තිබිය දී වුව ද ඔහු අද (10) කාර්යාල කාර්ය සහායකයකු යොදවා කාර්යාලය විවෘත කර මේ වනවිට එම කාර්යාලයේ රැඳී සිටියි.

නව පත්වීම් ලැබූ සංවර්ධන නිලධාරීන් 15 දෙනකු අද රාජකාරී භාර ගැනීම සඳහා කැඳවා ඇති අතර ගැබිනියන් ද ඒ අතර සිටින බව වාර්තා වෙයි. ඉඩම් කාර්යාලයේ ම නිලධාරීන් පවසන්නේ අද උදෑසන මේ කාර්යාලය විවෘතකළ කාර්යාල කාර්ය සහායකයා දැනට ආසාදිත වූ මිනුම් සහාකරවරයාගේ සමීප ආශ්‍රිතයකු බවයි. නමුත් ඔවුන් මේ ගැන සෞඛ්‍ය අංශවලට මෙතෙක් පවසා නැත.

අපි මේ පිළිබඳ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සරත් කුමාරගෙන් විමසූ විට ඔහු කීවේ මෙවැනි කතාවකි.

“කවුද කියන්නේ මම ආශ්‍රිතයෙක් කියලා. මම ආශ්‍රිත වෙලා නෑ. මට වෙනම රියදුරෙක් ඉන්නවා. අද උදේම අපි කාර්යාලය විෂබීජහරණය කළා. ඊට පස්සේ තමයි වැඩ පටන්ගත්තේ. කොරෝනා ආසාදිතයන් හමුවුණා කියලා කාර්යාලය වහන්න බෑ”

Related articles

Recent articles

spot_img