කොරෝනා පොකුරක් ඇතිවීම හේතුවෙන් පසුගිය දා තාවකාලිකව වසා දැමූ බද්දේගම ඉඳිගස්කැටියේ පිහිටි කර්මාන්තශාලාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ උල්ලංඝනය කරමින් නොතකා හෙට (10) සිට යළි විවෘත කරන බව අප වෙත වාර්තා වෙයි.
ඇඟළුම් කර්මාන්තශාලාවේ බලධාරීන් මෙය සිදුකරන්නේ හිතවතුන් හා මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කරදෙන බව ප්‍රදේශයේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටින වෛද්‍යවරයකුගේ අනුදැනුම මතය. මෙම වෛද්‍යවරයා තම උපන්දිනය සැමරීම සඳහා බද්දේගම නගරයේ සාදයක් පවත්වා ඒ සාදයට පැමිණි පිරිසක් ආසාදිත වූ පසුව පවා තම හිතවතුන් නිරෝධායනය කිරිම පැහැර හැරියේය. එමෙන්ම පසුගිය දා සිරුරට අහිතකර ඇෆ්ලාටොක්සීන් අඩංගු පොල්තෙල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බද්දේගම නගරයේ වෙළඳ සැල් පරීක්ෂා කිරීමේ දී තම හිතවතුන්ගේ වෙළඳ සැල් පරීක්ෂා නොකරන්න යැයි උපදෙස් දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ ආරවුලක් ද ඇතිකරගෙන තිබිණි.
දැනට තාවකාලිකව වසා දමා ඇති ඉඳිගස්කැටියේ පිහිටි කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 680කට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් අද (09) වනවිට ආසාදිතයන් 46 දෙනකු වාර්තා වී තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් නෙගටිව් වන අයකුට වුව ද පීසීආර් පරීක්ෂණ පැවැත්වුවහොත් ආසාදිත බව තහවුරු විය හැකි බවයි. එමෙන්ම ඔවුන් අතර තවදුරටත් වයිරසය සංසරණය වෙමින් තිබිය හැකි බැවින් ඉදිරි සතියක කාලයක් හෝ අවම වශයෙන් මේ කර්මාන්තශාලාව වසා තැබිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
ඔවුන් පවසන්නේ කර්මාන්තශාලාව විවෘතකිරීම යනු වයිරසය ප්‍රදේශය පුරා සංසරණය වීමට අවස්ථාවක් ලබාදීමක් බවයි. එබැවින් මෙය යළි විවෘත කිරීමට තමන් එකඟ නොවන බව සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුව ද අද දිනයේ දී වෛද්‍යවරයා හා ඉදිගස්කැටියේ පිහිටි කර්මාන්තශාලාවේ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු වෛද්‍යවරයා දිගින් දිගටම පවසන්නේ මේ ආයතනය හෙට විවෘත කළ යුතු බවයි. මේ සාකච්ඡාවේ දී වෛද්‍යවරයා කම්හලේ බලධාරීන් සමඟ එකඟ වූ කරුණු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දන්නේ නැත.
ඔවුන් පවසන්නේ වෛද්‍යවරයා ගතයුතු නිශ්චිත ක්‍රියාවන්ට පටහැනිව මෙලෙස කටයුතු කිරීම බරපතල ගැටලුවක් වන අතරම ප්‍රදේශයේ ජනතාව ද අනතුරකට ලක්කරන බවයි.



