ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු විසින් තම අභිමතය පරිදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අටවාගෙන ඇති නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් හඳුන්වන ස්ථානයක දී අද (08) දරුවන් සඳහා වැරදි මාත්‍රාවකින් එන්නත් ලබා දී තිබේ. එමෙන්ම එන්නත් කිරීමට පැමිණි බොහෝ දෙනකු ආපසු හරවා යවා ඇති අතර කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් සඳහා කරන පීසීආර් පරීක්ෂණ ද දරුවන් එන්නත් කරන අවස්ථාවේ දී ම සිදුකරමින් එම ස්ථානයට පැමිණෙන සියලු දෙනා ආනාරක්ෂිත තත්ත්වයකට පත්කර ඇත.
මෙම ස්ථානය පවත්වාගෙන යන්නේ නීති විරෝධීව බව ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු පාලන අධිකාරිය පවසයි. එසේ වුව ද පසුගිය අප්‍රේල් 08 වැනි දා ගාල්ල සංවර්ධන කමිටුවේ තීරණය හා දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලීමකට අනුව වෛද්‍යවරුන්ට අවශ්‍ය කාර්ය මණ්ඩලය වූ හෙද නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පිරිස එහි යති.
අද (08) සෙනසුරාදා දිනයේ දී ද එම ස්ථානයේ එන්නත් කිරීම් සිදුකරන බව දැනුම් දී තිබිණි. නමුත් එහි ගිය පිරිසට දැකගන්නට ලැබුණේ “අද එන්නත් කරන්නේ නැත” යනුවෙන් දිනයක් රහිත පුවරුවකි. උදෑසන 8.00 වනවිටත් මේ ස්ථානයේ පිරිසක් එන්නත් ගැනීමේ බලාපොරොත්තුවෙන් රැඳී සිටි අතර එහි පැමිණි වෛද්‍යවරුන් කියා සිටියේ එන්නත් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යා යුතු බවයි. ඉන් පසු එහි ගිය කිහිප දෙනකුට නැවත ආපසු පැමිනීමට සිදු වූයේ කරාපිටිය රෝහලේ එන්නත් නොකරන බැවිනි. ඒ බව කියූ විට ඔවුන්ට නැවත එන්නත් ලබා දී තිබිණි.
නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය එතැනට යනවිට එන්නත් කරන්නට පැමිණි පිරිසක් හැරී යන බව දැගත හැකි වී තිබිණි. ඒ අනුව ඔවුන්ගෙන් විමසූ විට කියා ඇත්තේ එතැන සිටි වෛද්‍යවරුන් ඔවුන්ට අද එන්නත් කිරීමට නොහැකි බව පවසා ආපසු යැවූ බවයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම අය ද සමඟ එතැනට ගිය ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් කිරීමේ කාර්යයට සම්බන්ධ වීමට වෛද්‍යවරු ඉඩ දී නැත.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පසෙක සිටිය දී තම හිතුමතයට එන්නත් කටයුතු කරගෙන ගිය වෛද්‍යවරුන්ට ටික වේලාවකින් සිහිපත් වී ඇත්තේ එන්නත් මාත්‍රා දෙකක් දිය යුතු දරුවන්ට එක් මාත්‍රාවක් පමණක් දුන් බවයි. වහාම පොතක තැබූ සටහන් ඔස්සේ දුරකථන අංක සොයාගෙන ඔවුන් යළි කැඳවා මේ වෛද්‍යවරු අඩු වූ එන්නත් මාත්‍රාව දරුවන්ට යළිි ලබා දී තිබිණි.
මේ සම්බන්ධ කරුණු විමසූමට ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඇමතුව ද ඔහු පිළිතුරු දෙන්නේ නැත.
ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ කීවේය.
“පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අදත් වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනිත් අයට වැඩ කරන්න අවස්ථාව දීලා නැහැ. එන්නත් කිරීම පීසීආර් කිරීම සියල්ල කර තිබෙන්නේ ඔවුන් විසින්. මේ අතර කිහිප දෙනකු හරවා යැවීමේ සිද්ධියකුත් වාර්තා වෙනවා. දරුවන්ට දෙන එන්නත අවශ්‍ය මාත්‍රාවට වඩා අඩු මාත්‍රාවක් දීලා. ඒ නිසා ඒ අය නැවත ගෙන්වාගෙන එන්නත් කරලා. නමුත් මේ ගැන අපි සොයා බලනවා.”



