-5.9 C
New York

“රටේ තත්ත්වය භයානකයි” වෛද්‍යවරු ජනපතිට ලිඛිතව දන්වයි

Published:

රටේ තත්ත්වය ඉතාමත් භයානක බවත්, සෞඛ්‍ය පහසුකම් තත්ත්වය ගැටලුකාරී වී ඇති බවත් රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබේ.

 මේ වනවිට රට පත්ව ඇති තත්ත්වය ඉතාමත් තීරණාත්ක හා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු කාලයක් බැවින් සියලුම දෙන මේ භාරදූර කර්තව්‍යයට සාමූහිකව උර නොදුනහොත් මේ වසංගතය පාලනය කිරීම සඳහා බරපතල තීරණවලට පවා එළඹීමට සිදුවනු ඇතැයි ඔවුහු එම ලිපිය මගින් දන්වා ඇත.

එබැවින් ‍මේ සම්බන්ධයෙන් වහා  ම තීරණයක් නොගතහොත් නුදුරු අනාගතයේ දී ම පොදු ජනතාවට වඩාත් බරපතල හා කල්පවත්නා දුෂ්කරතා වලට පවා ලක්වීමට සිදුවන බව නැවත නැවතත් අවධාරණය කරන බව ද එහි දක්වා තිබේ.

එම ලිපිය මගින් ඔවුන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ වෙත යෝජනා 07ක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා මෙලෙස දැක්වෙයි.

  1. කොරෝනා පාලනය කිරීම සඳහා 2020 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ රජයේ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි දැඩි අධීක්ෂණයක් යටතේ අකුරටම ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම
  2. ආසාදිත පුද්ගල ඝනත්වය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව තෝරාගත් ඇතැම් ප්‍රදේශ අගුළු දැමීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට තීරණය ගැනීම. අවශ්‍ය නම් හා පෙන්වාදෙන අවස්ථාවල දිස්ත්‍රික්ක අතර ජනතා සංචරණය සීමා කිරීම ද වැදගත් වේ.
  3. කොවිඩ් 19 ආසාදිතයන් දැඩි ලෙස අධීක්ෂණය කරමින් රෝගය වැළැක්වීමට අදාළ සුවිශේෂී උපායමාර්ගවලට යොමුවෙමින්, අවශ්‍ය නම් තෝරාගත් අත්‍යාවශ්‍ය සේවා අංශ හා ආර්ථිකයට දායක වන සේවා පවත්වාගෙන යාමට පියවර ගැනීම
  4. සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සමීප හා දැඩි අධීක්ෂණය යටතේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් සිය නිවාසවලම හුදකලා කිරීම හා එම පවුලේ සාමාජිකයන් එම නිවසේම නිරෝධායනය කිරීම. මෙහි දී ආසාදිත පුද්ගලයන් නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් දැඩි අධීක්ෂණය යටතේ එම රෝගීන් හැකි ඉක්මණින් ආසන්නයේ ඇති නම් කළ රෝහල වෙත යොමු කිිරීමට විධිවිධාන යෙදීම.
  5. ඇඳන්, ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක පහසුකම් ආදිය ප්‍රමාණවත් ලෙස සපයමින් ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීම
  6. PCR පරීක්ෂණ සහිතව කොරෝනා රෝග නිර්ණය සඳහා දිවයින පුරා රසායනාගාර සේවා ශක්තිමත් කිරීම හා ස්ථාවර හා අඛණ්ඩ සැපයුම් දාමයක් සහතික කිරීම
  7. හැකි ඉක්මණින් රටපුරා ප්‍රමාණවත් ආවරණයකින් යුක්තව නිසි එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම

සියලු වෛද්‍ය සංගම් හා ආයතන පවසන්නේ අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් අපේක්ෂාවෙන් සිය නිවාසවල රැඳී සිටින රේාගීන් සංඛ්‍යාව කෙරෙහි ද දැඩි අවධානය යොමු කිරීමට සිදුව තිබෙන බවයි. එමෙන්ම සැබෑ ලෙස සත්කාර සේවා අවශ්‍ය පිරිසට ඇඳන් හා සත්කාර සේවා සැපයීම සැලකිය යුතු ලෙස මේ වනවිට ප්‍රමාද වෙමින් සිටින බවද ඔවුන් සිය ලිපියේ සඳහන් කර ඇත. මෙවන් පසුබිමක් යටතේ ඉදිරි සති තුන හා ඉන් ඉදිරියට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිත මරණ ඉහළ යාමේ දැඩි ගැටලුවක් ඇති බව ද පවසයි.

සෞඛ්‍ය සේවකයන් ශාරීරිකව මෙන් ම මානසිකව ද පසුබෑමේ තත්ත්වයක් පවතින බවත් කොරෝනා මරණ පෙර නොවූ විරූ ත්තත්වයකට ආසන්න වන බවත් එය මහා ජාතික ව්‍යසනයක් බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

වෛද්‍යවරු මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ කොරෝනා මර්ධන සටනේ දී සෞඛ්‍ය පැතිකඩ කෙරෙහි ආර්ථික බලපෑම් ද තිබෙන බවයි. කෙසේ වෙතත් කොරෝනා පැතිරීම ක්ෂණිකව පාලනය කරගත නොහැකි වුවහොත් ඒ සඳහා යන වියදම තවත් බරපතල ලෙස ඉහළ යනු ඇතැයි ද එම ලිපියේ දක්වා ඇත.

Related articles

Recent articles

spot_img