-5.9 C
New York

ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

Published:

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු එම ජාවාරමට සම්බන්ධ වෙමින් තම සිසුන්ගේ මාර්ගයෙන් සමාජය පුරා ප්‍රචලිත කිරීමේ උත්සාහයක යෙදෙන ගුරුවරයකු පිළිබඳ අප වෙත තොරතුරු අනාවරණය වී තිබේ.

ගිණුම්කරණය පිළිබඳ උපකාරක පන්ති පවත්වාගෙන යන චන්දන ජයලත් නමැති මෙම පුද්ගලයා යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිසු දරු දැරියන් අමතමින් මේ හොර ජාවාරමේ නිෂ්පාදනය වන Megha caring නමැති කරල කොරෝනා රෝගය සුව කිරීමට දිව ඔසුවක් බව පවසා තිබේ. තම පන්තිවලට පැමිණෙන සිසුන් කොරෝනා ආසාදනය වුවහොත් මෙම ඖෂධය තමන් නොමිළයේ ලබා දෙන බව ද ඔහු වසා තිබිණි. මෙයින් ඔහු සිදුකරන්නේ වක්‍රාකාරයෙන් සිසුන් හරහා මේ ජාවාරම ජනගත කිරීමයි.

මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අප විසින් හෙළිදරව් කිරීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන් ම අසත්‍ය්‍යක් බවයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මෙවැනි ව්‍යාජ ඖෂධ හා ආහාර අතිරේක බව කියමින් විකුණන නිෂ්පාදන විශාල ජාවාරමක් බවත් ඔහු කියා සිටියේය. ඖෂධයක් සොයාගන්නේ නම් එය තහවුරු කරන ක්‍රමයක් පවතින බව ද පැවසූ ඔහු ආයුර්වේදය සමඟ එන ඖෂධ වෙනම පවතින නමුත් මේ සිදුවන්නේ මිනිසුන් අමාරුවේ දමා සිදුකරන ව්‍යාපාරයක් බවත් වෛද්‍ය විජේවික්‍රම පවසයි.

මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනය කළේ පරික්ෂා කර අනුමත නොකරන ලද කොරෝනා සඳහා සුදුසු බව පවසමින් විවිධ නිෂ්පාදන අළෙවි කරන හා ඒවා ප්‍රවර්ධනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්ක කරන බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සොයාගත් බව පවසන කොරෝනා සඳහා සුදුසු යැයි කියන බෙහෙත සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක දී ඒ සම්බන්ධ කිසිදු රසායනාගාර හෝ සායනික පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් අනාවරණය වූ අතර එවැනි නිෂ්පාදනයකට අනුමැතිය ලබාගත යුතු කිසිදු ආයතනයකින් අවසර ගෙන නැති බව ද හෙතෙම පිළිගත්තේය.

එසේ කරුණු අනාවරණය කර ඇති බව හොඳින්ම දැන දැනත් මෙම ගුරුවරයා හොර බෙහෙතක් විකිණීමේ ජාවාරමක් සම්බන්ධ ප්‍රවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසීමට අපි ඔහුගේ ජංගම දුරකථනයට ඇමතූ විට තමන් කාර්ය බහුල බවට කෙටි පණිවිඩයක් එවා අවශ්‍ය දේ කෙටි පණිවිඩයකින් විමසන ලෙස ඉල්ලා තිබිණි. මේ අවස්ථාවේ දී අප කළේ මෙම ඖෂධය ගැන දැනගැනීමටත් ඒවා ගැනීමටත් අවශ්‍ය බැවින් ඇමතූ බවයි.

මොහොතක් ගත වූයේ නැත. ඔහුගේ නියෝජිතයකු අප අමතා බෙහෙත් අවශ්‍ය කොතැනකට ද යන්නත් විමසා කියා සිටියෙ පන්තිවලට සහභාගීවන සිසුන්ට නොමි‍ළයේ දුන්නත් අනෙක් අය මුදල් ගෙවා ලබාගත යුතු බවයි.

“අපේ ෆේස්බුක් පේජ් එකේ විස්තර තියෙනවා. එතනින් දැනගන්න පුළුවන් ඔබතුමාට විස්තර” ඔහු කීවේය.

“අපේ කියලා කියන්නේ. මේ ව්‍යාපාරයට චන්දන ජයලත්ගේ සම්බන්ධයක් තියෙනවා ?” අපි ඇසුවෙමු.

“ඔයාට බෙහෙත් ගන්නනේ ඕන කිව්වේ.” ඔහු යළි අසයි.

මේ අවස්ථාවේ දී අපි ඔහුට කීවේ ‍මේ ව්‍යාජ බෙහෙතක් භාවිතා කරමින් සිදුවන මුදල් රැස්කිරීමේ ජාවාරම පිළිබඳ එම ගුරුවරයා ප්‍රචාරයක් ගෙන යාම පිළිබඳ විමසීට ඔහු හා සම්බන්ධ විය යුතු බවයි. එවිට ඔහු ඇසුවේ ඇයි බෙහෙත් ගන්න ඕන කිව්‍වනේ කියමිනි. මෙයින් අපට මතුවූයේ දැන් මේ ගුරුවරයා සිදුකරන්නේ කොරෝනා ඖෂධ වෙළඳාමක් පමණක් ද යන්නයි.

“ඔබ එම ගුරුවරයාට කියන්න. අපි කතා කළේ මේ ඖෂධය විකිණීම ප්‍රවර්ධයන කරන බැවින් ඒ සම්බන්ධයෙන් විස්තර අපේ වෙබ් අඩවියේ පළ කරන්න කියලා. එතුමා අද පැයක පමණ කාලයක් ඇතුළත කතා නොකළොත් අපි ඔබ සමඟ සාකච්ඡා කළ කරුණු සටහන් කරලා ලිපිය ප්‍රකාශයට පත්කරනවා. එතුමාට කියන්න මේ ජාවාරම ගැන විස්තර දැනගන්න කතා කරන්න අවශ්‍යයි කියා.”

ඉන් පසු අපි චන්දන ජයලත් උපකාරක පන්ති ගුරුවරයාට නැවත කෙටි පණිවිඩයක් ද යැවීමු. නමුත් ඔහුගෙන් ප්‍රතිචාර නැත.

අපට ඔහුගෙන් ඇසීමට තිබෙන ප්‍රශ්න කිහිපය

  1. ඔබ මෙම ඖෂධය නිෂ්පාදනය කළ වෛද්‍යවරයා හඳුනන්නේ ද ?
  2. එම වෛද්‍යවරයා කළා යැයි කියන නිෂ්පාදනය ඔබ ප්‍රවර්ධනය කරන්නේ කවර පදනමකින් ද ?
  3. එම වෛද්‍යවරයා පර්යේෂණ කිසිවක් සිදුකර නැති බවත්, එම සොයාගත්තා යැයි කියන ඖෂධය සම්බන්ධයෙන් කිසිදු ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඔබ දන්නේ ද ?
  4. ඔබ මෙය ළමයින් අතරට යැවීම නීති විරෝධී වෙළඳාමකට අනුබල දීමක් බව දන්නේ ද ?
  5. මෙම ඖෂධය නිෂ්පාදනය කර බෙදාහරින බව කියන සමාගමේ ඔබ ද කොටස් ලාභියකු බවට ඇතැම් පුද්ගලයන් පවසන කතාව සත්‍ය්‍යක් ද ?
  6. ඔබ මෙම නීති විරෝධී ව්‍යාජ නිෂ්පාදනය සිසු දරු දැරියන් අතර ප්‍රචාරය කරන්නේ කුමන කරුණු සහ පර්යේෂණ පදනම් කරගෙන ද ?

මෙ ප්‍රශ්නවලට ඔහු පිළිිතුරු දෙන්නේ නම් එය පසුව හෝ පළකිරීමට අප කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමි

(සජීව විජේවීර)

Related articles

Recent articles

spot_img