-4.8 C
New York

දඹුල්ලට එන ගොවීන්ගේ එළවළු කුණු වෙයි. රටේ එළවළු ගිනි ගණනට විකි‍ණේ

Published:

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වැන්න කුණු වී විනාශ වී තමට ද දිවි නසා ගැනීමට සිදුවන බව ග‍ොවීහු කියති. කොරෝනා අවදානම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශය හා ආර්ථික මධ්‍යස්ථානය හුදකලා කෙරිණි.

මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු සිදුකෙරෙන්නේ නැත.

ගොවීන් පවසන්නේ තමන් වැවූ බව භෝග කොරෝනා වසංගතය තිබුණායැයි කියා අස්වැන්න නෙලන්නේ නැතිව සිටිය නොහැකි බවයි. එ්වා නිසි කළට අස්වැන්න ලබා විකුණාගත යුතු වුවත් ආර්ථික මධ්‍යස්ථාය වසා දැමීම හේතුවෙන් විකුණාගත නොහැකි වී තිබේ.

ආර්ථික මධ්‍යස්ථානය වසා ඇති බව දැන දැනත් පිට පළාත්වල ගොවියෝ දඹුල්ල දෙසට පැමිණ මාර්ගය දෙපස වාහන නවතාගෙන කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ගැනුම් කරුවන්ට ඒවා අළෙවි කිරීමට උත්සාහ කරති. නමුත් එය සිදුකිරීමට පොලිසිය ඉඩ නොදෙන බව ගොවීන්ගෙන් නැගෙන චෝදනාවයි.

ඔවුන් ඉල්ලා සිටින‍්නේ කොරෝනා වසංගතයක් පැතිරයන අවස්ථාවේ දී මේ එළවළු අස්වැන්න කුණු වීමට ඉඩ නොදී රජයෙන් හෝ ඒවා මිලදී ගෙන යුද හමුදාව හෝ යෙදවා එළවළු අවශ්‍ය ප්‍රදේශවලට යැවීමේ වැඩපිළිවෙලක් සකසන ලෙසයි. දැනට එවැනි කිසිදු සැළැස්මක් නොමැතිවීම හේතුවෙන් ලක්ෂ ගණනක් වටිනා එළවළු තොග විනාශ වෙමින් පවතී,

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන‍යේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී.ඒකනායකගෙන් මේ පිළිබඳ විමසූ විට හෙතෙම කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් හමු වූයේ කොරෝනා ආසාදිතයන් 03 දෙනකු පමණක් බවයි. ආර්ථික මධ්‍යස්ථානය විවෘතකිරීමට අවසර ලබාදෙන්නේ නම් ගොවීන් මෙලෙස අමාරුවේ නොවැටෙන බව ද ඔහු පවසයි.

දඹුල්ලට පැමණෙන ගොවීන්ට එළවළු විකුණාගත නොහැකිව තිබුණ ද මේ වනවිට රටේ වෙනත් ප්‍රදේශවල එළවළු මිළ ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයන්ගෙන් නැගෙන චෝදනාවකි.

Related articles

Recent articles

spot_img