ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම ඉතා දරුණු තත්ත්වයකට පත්වෙමින් සිව්වැනි දිනයටත් ඊයේ (02) දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1.500 ඉක්මවා ගියේ 1,843 දෙනකු මෙරටින් වාර්තා කරමිනි. මේ දින හතරේ දී ම වාර්තා වූ ආසාදිතයන් ගණන ඊට පෙර දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණනට වඩා වැඩිවීම ද විශේෂත්වයකි.
පළමුවරට මෙරටින් වාර්තාවන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 27 වනදාය.
ඒ අනුව අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 28 වනදා ආසාදිතයින් වාර්තාවීමේ වර්ධනීය ප්‍රතිශතය 31.9% වෙයි. අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 29 වනදා වනවිට වර්ධන ප්‍රතිශතය 37.8%ක් වෙද්දී 30 වනදා එම ප්‍රතිශතය 49.5% දක්වා වර්ධනය වී තිබුණි. මැයි මස 01 වැනි දා ආසාදිතයින් වාර්තා වීම අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 54.4%ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඊයේ (02) දිනයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සැළකූ විට එය අප්‍රේල් මස 27 වැනි දා මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව 68.15%ක වර්ධනයකි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුනහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවන බවයි.
එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඒ පිළිබඳ මෙසේ විස්තර කළාය.
“අපි ඉදිරි සති දෙකක කාලයක් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සහ සංචරණය සීමා කර නොගෙන කටයුතු නොකළහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් පත්වෙන්න සිදුවේවි. අපි කිසිම කෙනෙක් නිවසේ දී මුඛ ආවරණ පැළඳ සිටින්නේ නැහැ. ගෙදර රෝගියකු හෝ නිරෝධායනය වන කෙනෙක් සිටියොත් ඒ පුද්ගලයා වගේම නිවසේ සිටින සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මේවා ගැන අපි සැළකිලිමත් නොවනවානම් ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අපේ රටත් පත්වීම වළක්වන්න බැරි වෙනවා.”