ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය වූවා යැයි මහත් ප්‍රමෝදයෙන් සිටි ඔබ දැන් යළි සිටින්නේ ඉච්ඡාභංගත්වයකට මුහුණ දී නොවේද ? නිවසින් පිටතට යන විට ඔබේ ආදරණීයන්ගේ හෙට දවසේ ඉරණම තීරණය කරන ඇහැටවත් නොපෙනෙන කොරෝනා වයිරසය නිවසට රැගෙන ඒමට ඔබට සිදුවනු ඇතැයි ඔබට නොසිතෙන්නේ නම් ඔබ මනුෂ්‍යයකු නොවනු ඇත.
සිහි බුද්ධියෙන් යුතු සියළු ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ සිතීමට ඇති වැදගත්ම කාරණය වන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් තම දරුවන්ගේ, දෙමාපියන්ගේ සහකාරියගේ සහකරුවාගේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කෙසෙද යන්නයි. ඊළඟ ආහාර වේල කුසට දමා ගැනීමටනම් ඔබ ජීවත්ව සිටිය යුතුය.
මානව ඉතිහාසයේ මෑත කාලයේ දී සියලු රටවල ආර්ථික, සමාජයීය, සංස්කෘතික සියලු අංශයන්ට දැඩිව බලපෑම් එල්ල කිරීමට සමත්වූ කොරෝනා වසංගතය ඊළඟ නිමේෂයේ දී ඔබව ගොදුරු කරගැනීමට ඉඩ තිබේ.
එසේනම් මේ වසංගත තත්ත්වය අප පාලනය කළ යුතුය. ඒ සඳහා පාලකයන්, සෞඛ්‍ය අංශ, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ පමණක් නොව සාමාන්‍ය ජනතාව වූ ඔබ සියලු දෙනාම වගකීම සියතට ගත යුතුව තිබේ.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින වසංගත තත්ත්වය තේරුම්ගැනීමටන්ම අප මේ ගතකරමින් සිටින අවධිය තේරුම්ගත යුතුය. දැනට එහි හැසිරීම හා එය පාලනය කිරීමට ගත් උපායමාර්ග පිළිබඳ විමසා බැලිය යුතුය. පසුගිය 2020 වර්ෂයේ දී අප්‍රේල් මාසයේ දී හෝ ඉන් පසු ක්‍රියාත්මක කළ උපායමාර්ග කිසිවක් අද පවතින තත්ත්වයට අදාල නොවේ. එදා අපි වසංගතය පාලන කළායැයි කියමින් අද වසංගතය ද පාලනය කරගත හැකිවනු ඇතැයි සිතා ඒ උපාය අනුගමනය කිරීම ප්‍රශ්නාර්ථයකි.
කොරෝනා වසංගතයේ අද අප සිටින්නේ කොතනද?
ලෝකය පුරාම මේ වසංගතය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රධාන වශයෙන් ම එය පවුල් තුළ හෝ රැකියා ස්ථානයන් තුළ පොකුරු වශයෙන් පැතිරෙන බවයි. රෝගයේ පැතිරීම අඩු හෝ වැඩි වන්නේ ජනතාවගේ සංචරණය අඩු වැඩිවීම තුළ බව මුළු ලෝකයම මේ වනවිට තේරුම් ගෙන ඇති ප්‍රධාන කාරණයකි.
කොරෝනා වසංගතය පාලනය කිරීමට එන්නත් කිරීම හැරුණු විට ඇති ප්‍රධානම උපායමාර්ගය වන්නේ කුඩා පොකුරුවලින් පිටතට මෙම වසංගතය පැතිරයාම වැළැක්වීමයි. නමුත් අවසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු උත්සව කාලයේ දී වළක්වාගත නොහැකි වූයේ ද මෙම ක්‍රියාවලියයි.
අප යම් ප්‍රදේශ්‍යක පවුල් කීපයක රෝගීන් පොකුරක් දකින විට රට පුරා පවුල් තුළ වූ රෝගී පොකුරු අති මහත් ප්‍රමාණයක් ඇති බව තේරුම්ගත යුතුය. අප දකින්නේ ඉන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණි. රෝග කාරක වයිරසයේ පැතිරීම බහුලවීම සහ සමාජයේ විශාල ලෙස වයිරසය පැතිරයාම තුළ මේ කුඩා පොකුරු වලින් නිරන්තරයෙන් වයිරසය පිටතට පැතිරයාමක් දැනට සිදුවෙමින් පවතී. විශාල පොකුරු ඇති ප්‍රදේශ හුදකලා කිරීම කිසිසේත් ප්‍රමාණවත් ක්‍රියාවලියක් නොවන්නේ එබැවිනි. කුඩා පොකුරු ඇති ප්‍රදේශවල අපට නොපෙනී වයිරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබේ..
දැනට තිබිය යුතු වසංගත පාලන අරමුණ
වසංගතය තත්ත්වය පාලනය කිරීමේ මූලිකම අරමුණ විය යුත්තේ අපේ රටේ පවතින සෞඛ්‍ය පහසුකම් ධාරිතාවට අනුව එය දැරිය හැකි මට්ටමකට පාලනය කරගැනීමයි. පසුගිය කාලය තුල දිගින් දිගට flattening the curve ලෙස හුවා දැක්වුයේ මෙයයි. මෙමගින් අපට ඇති දැඩි සත්කාර අඩු වීමේ ගැටලුව, රෝහල්වල ප්‍රමාණවත් ඉඩක් නොතිබීමේ ගැටලුව අර්බුදයක් නොවන අතර මරණ අඩුකරගැනීම සහ දීර්ඝකාලීනව රටට සිදුවන අහානිය අවම කරගැනීමට ද හැකිවේ.
වසංගතය මැඩලීමේ උපාය මාර්ග
- මෙහි දී අප මූලික වශයෙන් ම කළ යුත්තේ පවතින කුඩා පොකුරු හඳුනාගෙන රෝග කාරක වයිරසය ප්‍රධාන වශයෙන් පවුල යන කුලකය තුළ හිරකර තැබීමයි. එය සිදුකිරීමට නම් නිවසින් පිටතට සංචරණය සීමා විය යුතුය.
- රජය මගින් අද දිනයෙ ප්‍රකාශයට පත්කරන රෝගීන් පෙන්වන්නේ මීට සතියකට හෝ දෙකකට පඹන පෙර රෝගයේ පැතිරීමේ ස්වභාවයයි. ඒ ඒ ප්‍රදේශවල PCR පරීක්ෂණ සිදුකර දින තුනක් හෝ හරකට පසු ප්‍රතිඵල නිකුත් වේ. ඒවා ප්‍රාදේශීය වශයෙන් ලේඛන ගත කර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තනි ලේඛනයක් ලෙස ප්‍රකාශ කිරීමට අවම වශයෙන් තවත් දිනයක් හෝ ගත වෙයි. එබැවින් එය මත පදනම්ව ශ්‍රී ලංකාව පුරා කොරෝනා පැතිරයන තත්ත්වය පාලනය කිරීම ප්‍රායෝගික නොවේ. අවශ්‍ය වන්නේ රට පුරාම සිටින දන්නා සහ නොදන්නා රෝගීන්ගෙන් වයිරසය පැතිරීම හෙවත් රෝගය බෝවීම වැළැක්වීමයි.
- මෙතරම් වේගයෙන් පැතිරයන වසංගතයක් මිනිසුන්ගේ චර්යා වෙනස් කිරීම තුළින් සංචරණය අවම කිරීමෙන් පාලනය කිරීම සාර්ථක නැත. ලෝකය පුරා පසුගිය වසර තුල වසංගතයේ මෙවැනි අවස්ථාවක සිදුකල සියලුම පාලනය කිරීම් කර ඇත්තේ මිනිසුන්ගේ චර්යා වෙනසකින් නොව රජයේ ප්‍රතිපත්තිමය තීරණ මගින් වෙනස් කිරීමෙනි.. මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන මුලධර්ම වල මුලික අංගයකි
- කිසිදු සැකයකින් තොරව මේ අවස්ථාවේ කලයුතු එකම දෙය, අනිවාර්යයෙන් සංචරණ සිමා පැනවීමයි. ලංකාව වැනි රටවල මෙය මිනිසුනට පැවසිය හැක්කේ “ඇඳිරි නීතිය” ලෙස පමණි.
- රජයේ ප්‍රතිපත්තිය යම් යම් සේවා පවත්වාගෙන යාම නම්, අප කලයුත්තේ අදාළ ක්‍රියා මාර්ගය ම කණපිට හරවා සිදු කිරීමයි. ඇඳිරි නීතියෙන් තොරව යම් යම් පාලන ක්‍රියාවලි සිදුකිරීම් මගින් සංචරණය අවම කිරීම ජනතාව මතම පැටවීම වෙනුවට ඇඳිරිනීතය පනවා සංචරණය සීමා කර ජනතාව නිවෙස්තුළට කොටු කර අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජනතාව කැඳවීමෙන් මේ තත්ත්වය පාලන කළ හැකිය.
තීරණ ගැනීම කල් දැමීමේ ප්‍රතිවිපාක
වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග කල් දමන සෑම දිනකටම, දිනකට 100–150ක් පමණ වැඩිවීමකින් නව රෝගීන් එකතු වීමක් සිදුවේ. මීට සමගාමිව දිනකට වලක්වාගත හැකිව තිබු අමතර මරණ 2–3 බැගින් වැඩිවන අතර ICU ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන්, මේ මරණ වැඩිවීම, රෝගීන් වැඩිවීමට සමානුපාතිකව නොව ඊට වඩා වැඩියෙන් සිදුවේ.
මෙම වසංගතය මැඩලීම සඳහා අද දිනයේ ගන්න ක්‍රියාමාර්ග වල ප්‍රතිපල ලැබෙන්නේ අවම වශයෙන් සති දෙකක් ගත වූ පසුවය.
උදාහරණයක් ලෙස අප අද (මැයි 3) මේ දකින රෝගීන් අප්‍රේල් මස 23–24 සතිඅන්තයේ සංචරණ සීමා නොපැමිණීම හේතුකොට වැඩිවූ රෝගීන් වන අතර මේ අද දකින මරණ 2–3ක් එදා අවශ්‍ය දේ සිදුකලානම් වලක්වාගත හැකිව තිබිණි. අදාළ අවශ්‍ය සීමා කිරීම් සිදු නොකළහොත්, වෙනත් සැම රටකම අත්දුටු කොරෝනා වලට එහා, පොදුවේ මරණ වල වැඩිවීමක්ද අපට දැකගත හැකිවනු ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන්ම සෑදු වසංගත පුරෝකථන මොඩලයට අනුව අප මේ තීරණ ගැනීම තව දින 5ක් කල් දැමුවොත් සතියක් හෝ දෙකක් ඇතුලත දිනකට නව රෝගී සංඛ්‍යාව 3000 පසු කර යන අතර එම මොඩලයට අනුව තීරණ ගතහොත් කළහොත් සතියක් දෙකක් තුළ දිනකට දකින උපරිම රෝගීන් ගණන 2300කට වඩා අඩු අගයක පවත්වා ගත හැකිවනු ඇත. මින් පෙර මේ මොඩලය හරහා කල පුරෝකථන මේ වන විට සත්‍ය වී තිබේ.
වෛද්‍ය සුනෙත් අගම්පොඩි
වසංගතවේදය පිළිබඳ විශේෂඥ
ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ හා රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය