-5.9 C
New York

ධම්මික කපුවාගේ කොරෝනා පැණි නාටකය අවසන්

Published:

කෑගල්ලේ හෙට්ටිමුල්ල භද්‍රකාලී කෝවිල නමින් දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නමැති පුද්ගලයකු විසින් කාලි ආරූඪයෙන් ලැබුණු උපදෙස් මත සෑදූ බව කියා රාජ්‍ය අනුග්‍රහයෙන් පරීක්ෂණ පවා ආරම්භ කළ පැණිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව තහවරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙහෙයවීමෙන් අනුර‍ාධපුර ශික්ෂණ රෝහලේ දී මේ පිළිබඳ සායනික පරීක්සණ සිදුකර ඇත.

ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකා ලබමින් සිටි කොරෝනා ආසාදනය වූ රෝගීන් 68 දෙනකුට එම පැණිය ලබා දී පරීක්ෂා කර තිබේ. පරීක්ෂණ මෙහෙයවූ කණ්ඩායම පවසන්නේ එම කොරෝනා රෝගීන්ට මෙම පැණිය ලබාදීමෙන් කිසිදු සුවයක් අත්නොවූ බවයි.

වතුපිටිවල මූලික රෝහලේ දී කො‍රෝනා ආසාදිතයන්ට මෙම පැණිය ලබාදීමෙන් 100% ප්‍රතිඵල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය පවසන්නේ මෙම සියලු වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් කමිටුවට යොමු කළ බවයි. පසුගිය බදාදා (28) රැස්වූ විද්වත් කමිටුව මෙම වාර්තා අධ්‍යයනය කර එය කොරෝනා රොගීන්ට ලබාදීම නුසුදුසු බවට සාකච්ඡා කර ඇත.

විද්වත් කමිටුවේ නිර්දේශය ද ලබාගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ ස්ථිර වාර්තාවක් ලබන සතියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතය.

මෙම පැණිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පරිසක් ද පානය කළ අතර විශාල ජනතාවක් වැළ නොකැඩී මේ පැණිය ලබාගැනීමට ධම්මික නමින් පෙනී සිටින පුද්ගලයාගේ නිවසට ගියහ. වෛද්‍යවරුන් ද රෝහල් කාර්ය මණ්ඩල සඳහා පැණිය ලබාගැනීමට ඔහුගේ නිවසට ගොස් නිවාස අඩස්සියේ සිටි සිදුවීමක් ද වාර්තා විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙක් මෙම පැණිය ගෙනවිත් රෝගීන්ට අළෙවි කරන සිදුවීමක් ද වාර්තා වී තිබිණි.  එමෙන්ම ධම්මික නමැති පුද්ගලයා රුවන්වැලි සෑය අසළට ගොස් අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ තමන් කාලි අම්මා යැයි කියමින් කලහකාරීව හැසිරුණු අතර තම නිවස ඉදිරිපිට ආ ජනතාවට ද වරින් වර බැන එළවාගනු ලැබුවේය.  

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මෙම පැණිය සඳහා පර්යේෂණ පැවැත්වීමට අනුමත කළ අතර ඇතැම් මාධ්‍යය එය පැණිය භාවිතා කිරීමට ලැබුණු අනුමැතියක් ලෙස ව්‍යාජ ප්‍රචාරයක් සිදුකිරීම හේතුවෙන් ජනතාව දැඩිව නොමග ගියහ. සූත්‍ර කමිටුව මගින් අනුමැතිය ලබා දෙන්නේ යම් ඖෂධයක් පරීක්ෂණ සඳහා යොමුකිරීමට පමණි. දැන් පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ ධම්මික පැණිය කොරෝනා රෝගීන් සඳහා භාවිතා කිරීම නුසුදුසු බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්න් දෙවියන්, යක්ෂයන් සහ මළගිය පුද්ගලයන් ආරූඪවන බව පවසන් පුද්ගලයන් මානසික රෝගීන් බවයි. ඔවුන් පරළවීම යන මානසික රෝගයෙන් පීඩාවිඳින බවත් මෙවැනි පුද්ගලයන් සඳහා මනෝවිද්‍යාත්ම ප්‍රතිකාර අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය රූමි රූබන් කීවේය.

Related articles

Recent articles

spot_img