දකුණු පළාතේ ප්‍රධානතම රෝහල ලෙස සැළකෙන්න කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතය යැයි සැකකටයුතු රෝගීන් සඳහා වෙන්කරන ලද 36 වාට්ටුව මේ වනවිට එහි සිටිය හැකි රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවකගෙන් පිරී ගොස් පවතී.
වාට්ටුවට පැමිණෙන රෝගීන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ හා පීසීආර් පරීක්ෂණ දෙකම සිදුකරන අතර ඇතැම් අවස්ථාවල දී ඇන්ටිජන් පරීක්ෂණය පමණක් සිදුකර රෝහලේ වෙනත් වාට්ටුවලට දැමීමට ද කටයුතු කිරීමේ තත්ත්වයක් උදාවී ඇතැයි රෝහලේ ප්‍රකාශකයකු කීහ.
කෙසේ වෙතත් මේ වනිට 36 වාට්ටුව සම්පූර්ණයෙන් ම පිරී පවතින බැවින් රෝහලේ වෙනත් වාට්ටුවල ද ඇඳන් විනිවිද පෙනෙන ඉටිරෙදිවලින් ආවරණය කර කොරෝනා සැකයක් ඇති රෝගීන් පවා අනෙකුත් වාට්ටුවලට ද යොමුකිරීම සඳහා සූදානමක් පවතින බව රෝහලේ හෙද හෙදියෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ රෝහලේ වෙනම වාට්ටුවක් හෝ තවතම් රෝගීන් යොදවා නොමැති ඒකකයක් වෙත හෝ එවැනි රෝගීන් යැවීම වඩාත් සුදුසු බවයි.
මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැත්වෙන සායන සඳහා පැමිණෙන රෝගීන් පරීක්ෂාකිරීම ද වෛද්‍යවරු විසින් නවතා දමා තිබේ. පැමිණෙන රෝගීන්ගේ සායනික පොත ලියාපදිංචි කිරීමෙන් පසු එම පොතේ මීට පෙර වෛද්‍යවරයා විසින් ලියා ඇති ඖෂධම යළි ලියා දීම සිදුකරයි.
මේ පිළිබඳ රෝහලේ බලධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ සායනවල අසාධ්‍ය රෝගීන් පමණක් පරීක්ෂාකරන අතර එවැන්නක් අත්‍යාවශ්‍ය නොවන රෝගීන් සඳහා පමණක් පෙර භාවිතා කළ ඖෂධ ලියා දෙන බවයි. කොරෝනා වසංගතයේ පළමු රැල්ල පැවැති මාස කිහිපයක් රට සම්පූර්ණයෙන් ම වසා දමා තිබූ කාලයේ දී පෙර සායනික පොතට තැපෑලෙන් ඖෂධ ලබාදුන් බැවින් මෙය විවේචනය කළ නොහැකි බව ද රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි පියවර අනුගමනය කිරීමට සිදුවන බව ද ඔහු කීවේය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට ඇතුළත්වී සිටින රෝගීන් බැලීමට අවසර පත්‍ර නිකුත් කිරීම ද නවතා දමා තිබේ. රෝගීන් අසළ යම් අයකු රැඳී සිටීනම් ඔහු හෝ ඇය හැර වෙනත් කිසිවෙකුට පිළිකා රෝගීන් බැලීමට අවස්ථාව නොලැබෙන අතර රෝගීන් හා සාත්තුවට නැවතී සිටින අය සඳහා අවශ්‍ය ආහාරපාන පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් ලබාදීම සිදුකරයි.
වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණක් නොව මාතර, අකුරැස්ස, දෙනියාය, මාපලගම, නෙළුව බෙන්තර වැනි ප්‍රදේශවලින් මෙන්ම දකුණු පළාතෙන් පිටත රෝගීන් පවා කරාපිටියට පැමිණෙන බැවින් මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ දුරබැහැර ගෙවා කරාපිටිය රෝහලට පැමිණීමෙන් වැළකී තම නිවස ආසන්නයේ ම ඇති රජයේ රෝහලකට යන ලෙසයි. එමගින් රෝහලේ තදබදය අඩුකරගත හැකි බවත් රෝගීන්ට වසංගතයෙන් ගැලවී සිටීමට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.