කොරොනා දැඩි ව්‍යාප්තියක් ඇති අසල්වැසි ඉන්දියාවේ සිටින ඉන්දියාවේ පුරවැසියන් මෙරටට ගෙන්වා සංචාරක හෝටල්වල නවාතැන් දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට දියත් වෙමින් තිබේ.
ඉන්දියාවේ පැතිරයමින් පවතින කොරෝනා ප්‍රබේදය ඉතා දරුණු රෝග ලක්ෂණ පෙන්වන අතර සීඝ්රයෙන් පැතිරීම හැ වැඩිපිරිසක් මරණයට පත්වන තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු ද යන්න පිළිබඳ ප්‍රශ්න කළ යුතුය.
ඉන්දියාවේ පුරවැසියන්ට මෙරට දී ඇමෙරිකානු ඩොලර් 690ක් වැනි මුදලකට සුව පහසු හෝටල්වල රාත්‍රී 13ක නිරෝධායන කාලයක් ගත කළ හැකි බවට එක්තරා පුද්ගලික ආයතනයක් විසින් අන්තර්ජලායේ පළකර තිබූ දැන්වීමකට අනුව rata.lk අපි ඔවුන්ට කතා කළෙමු.
එය සංචාරක නියෝජිත ආයතනයකි. එහි හිමිකරුවා බව පවසන පුද්ගලයා කියා සිටියේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ආයතනයේ ද ප්රබලයකුගේ සහයෙන් සහ රජයේ ඉහළම පුද්ගලයන් කිහිප දෙනකුගේද දැනුම්වත් වීම් සහිතව තමන් මෙම සේවාව පවත්වාගෙන යන බවයි.
ඉන්දියාවේ කිසිදු පුද්ගලයකුට මේ වනවිට ඩුබායි, සිංගප්පූරු ඇතුළු රටවල් ගණනාවකට ඇතුළුවීමට හැකියාව නැත. ඔවුන්ට එවැනි රටකට ඇතුළු වී නිරෝධායනය වී හෝ අවශ්‍ය කටයුතුවල යෙදීමේ අවස්ථාවක් නැත. නමුත් ඩුබායි හෝ සිංගප්පූරුවට යාමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ දී රාත්‍රී 13ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ පසු ඉන්දියාවේ පුරවැසියන්ට සිංගප්පූරුවට හා ඩුබායි වෙත ඇතුළුවීමට අවසර හිමිවේ. එබැවින් මෙම ආයතන විසින් සපයා ඇත්තේ ඉන්දියාවේ පුරවැසියන්ට අවශ්‍ය එම පහසුකමයි.
තරු තුනක් සහිත හෝටලයක Full board පහසුකම සහිතව රාත්‍රී 13ක් ගත කිරීම පීසීආර් පරීක්ෂණ දෙක්ක සිදුකිරීම, ඩොලර් 12ක් ගෙවා ලබාගන්නා ඩොලර් 50,000 වටිනා කොවිඩ් – 19 රක්ෂණ ආවරණයක් හිමිකරදීම හා එමගින් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ආවරණය කිරීම, යළි ගුවන්තොටුපොළ වෙත යොමුකිරීම යන පහසුකම් මෙම පැකේජයට අයත් වේ.
ඉන්දියාවේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ නිරෝධායනයට අවශ්‍ය පහසුකම් සපයන ආයතනය සමඟ සාකච්ඡා කිරීමේ දී අනාවරණය වූයේ පසුගිය සති කිහිපයක සිට ඉතා විශාල වශයෙන් ඉන්දීය ජාතිකයන් එම පහසුකම් ලබාගැනීම සඳහා මෙරටට පැමිණෙන බවයි. ඔවුන් මීට පෙර කළුතර හා දකුණු වෙරළබඩ හෝටල් සඳහා යොමුකළ ද මේ වනවිට එම හෝටල් පිරී ඇති බැවින් දැන් ඔවුන් යොමුකිරීමට හැකියාව ඇත්තේ මහනුවර හා හබරණ හෝටල්වලට බව ද මේ සංචාරක නියෝජිත ආයතන නිලධාරීන් පවසයි.
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ගෙන් මෙරට වැසියන්ට කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් තිබිය හැකි නොවේදැයි විමසූ විට එක් ප්‍රකාශකයකු කියා සිටියේ සෞඛ්‍ය නීතිරීති අනුව මෙය ක්‍රියාත්මක කළ හැකි බවයි. එබැවින් මෙය නීත්‍යානුකූල කටයුත්තක් බවත් නිරෝධායනය සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ පළමු පීසීආර් පරීක්ෂණය සෘණාත්මකනම් පමණක් ඔවුන්ට ඉතිරි දින කහිපයේ දී ආහාර ගැනීම, පිහිනුම් තටාක භාවිතය, ඇවිදීම වැනි කරුණු සඳහා හෝටල පරිශ්‍රය ඇතුළත පමණක් වෙනත් ස්ථානවලට යාමට අවසර හිමිවන බවයි. පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වුවහොත් රක්ෂණ ආවරණයෙන් මුදල් ලැබෙන බැවින් පුද්ගලික රෝහලකට යොමුකරන බව ද කියා සිටියේය.




