spot_img
spot_imgspot_img

මහින්දය ඇතුළු පාසල්වලට විදුහල්පති පත්වීම් අධ්‍යාපන ලේකම්ගේ ලාච්චුවේ හිරවෙලා

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ඉසිපතනවිද්‍යාලය ඇතුළු පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 06ක් පත්කර ඇති ස්ථිර විදුහල්පතිවරුන්ට පත්වීමේ ලිපිය ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටියි.

මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරාගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ තව දින කිහිපයක් ප්‍රමාද විය හැකි බවයි. නමුත් ඔහු මීට පෙර කීවේ එවැනි කතාවක් නොවේ.

ජාතික පාසල් විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන සේවයේ තනතුරු 171ක් සඳහා 2020 දෙසැම්බර් මාසයේ දී අයදුම්පත්‍ර කැඳවා ජනවාරි පළමු සති දෙක ඇතුළත සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාල තනතුරු සඳහා සුදුසුකම් ඇති අය තේරා ඒ සියලු ලිපිගොනු රාජ්‍ය සේවා කොමිසමට යවා ඇති බවත් රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රමාදය හේතුවෙන් පාසල් සඳහා විදුහල්පතිවරු පත්කිරීමේ බරපතල ගැටලුක් ඇති බවත් අධ්‍යාපන ලේකම්වරයා මීට පෙර කීවේය.

ඒ අවස්ථාවේ ඔහු මෙසේ ද කීවේය.

“ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මහින්ද විද්‍යාලයේ සහ රිච්මන්ඩ් විද්‍යාලයේ. මහින්ද විද්‍යාලයේ ඉන්න වැඩබලන විදුහල්පතිවරයා තියාගන්න කියලා දේශපාලනඥයන් දිගින් දිගටම මට විශාල බලපෑමක් කරනවා. දේශපාලනයට සම්බන්ධ රිච්ම්න්ඩ් ආදි ශිෂ්‍යයෙක් ඉල්ලීම් කරනවා රිච්මන්ඩ් විද්‍යාලයේ දැනට ඉන්න වත්තුහේවා එහි තියන්න කියලත් මහින්දයේ වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන එහි තියන්න කියලත්. මහින්දයේ ආදි සිසුන් දිගටම කියන්නේ ගාමිණී ජයවර්ධන ඉවත් කරන්න කියලා. දැන් මහින්දයට ස්ථිර විදුහල්පතිවරයෙක් පත්කරලා අපි අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට යවා තිබෙන්නේ. එතැනයි ප්‍රමාදය. ඒ නම අනුමත කළ වහාම පසුව දා ම අපි පත්වීම ලබා දෙනවා. ඒ පත්වීම අනුමත වීම ප්‍රමාද කරනවානම් ගාමිණී ජයවර්ධන ඉවත් කරලා වෙනත් වැඩබලන විදුහල්පතිවරයෙක් පත්කිරීමට මම කටයුත කරනවා.”

මහින්ද විද්‍යාලය විදුහල්පතිවරයකු නොමැතිව ගෙවී යන 07 වැනි වසර අවසන් කරමින් සිටී. ස්ථිර විදුහල්පතිවරයකු පත්කිරීමේ ප්‍රමාදය ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ බව අධ්‍යාපන ලේකම්වරයා විසින් පැවසීම හේතුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීරගේන විමසූ විට හෙතෙම කියා සිටියේ අප්‍රේල් මස 08 වැනි දා පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 28ක් සඳහා විදුහල්පතිවරු අනුමත කර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ බවයි. එම අනුමත කළ විදුහල්පතිවරු අතර මහින්ද විද්‍යාලය වෙනුවෙන් පත්වීමට සුදුසුකම් ලැබූ විදුහල්පතිවරයාගේ තනතුරු ද තිබූ බව ලේකම්වරයා කියා සිටියේය.

අද (23) මෙම පත්වීම ප්‍රමාදය ගැන අපි ‍අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙ‍රේරාගෙන් විමසූ විට ඔහු පවසන්නේ තමන් වෙත ලැබී ඇත්තේ ජාතික පාසල් 06ක විදුහල්පතිවරුන්ගේ පත්වීම් අනුමතකරන ලද ලිපි ගොනු පමණක් බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැන් පවසන්නේ අනෙකුත් විදුහල්පති ධූරයන් ද අනුමත කර ලැබෙන තුරු දැනට තමන්ට ලැබී ඇති අනුමත තනතුරු පත්කිරීම ද ප්‍රමාද කළ බවයි. මහින්ද විද්‍යාලයට වසර 07 කින් විදුහල්පතිවරයකු නොමැතිවීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට නොවේ දැයි විමසූ විට හෙතම කියා සිටියේ “පොඩ්ඩක් ඉවසන්න මම වැඩේ කරන්නම්” යනුවෙනි.

නිත්‍යානුකූළව අයදුම්පත්‍ර කැඳවා සම්මුඛ පරීක්ෂණ ද පවත්වා රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කරන ලද පත්වීම් අධ්‍යාපන ලේකම්වරයාට එල්ලවන දේශපාලන බලපෑම් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද කළ හැකි ද යන්න පිළිබඳ ප්‍රශ්න කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!