-5.9 C
New York

ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි

Published:

ගාල්ල කොටුව ලංකා බැංකුවෙන් සහ ගාල්ල මහ නගර සභාවේ මදුරු මර්ධන අංශයෙන් කොරෝනා ආසාදිතයකු බැගින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය පුරාම යළි කොරෝන වසංගතය වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කළ ද ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු දෙදෙනා තවදුරටත් මහ නගර සභාවේ කටයුතුවලින් ඈත්ව සිටිමින් පීසීආර් පරීක්ෂණ ඇතුළු සායනික කටයුතුවලින් ඈත්ව සිටීම හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී තිබේ.

වෙනත් ස්ථානවල සිදුකරන පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව හඳුනාගන්නා ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීම පවා මේ වනවිට ගාල්ලේ දී සිදුවන්නේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට අයත් නිල නිවාසයක් අලුත්වැඩියා කර එම ස්ථානයේ සිය කාර්යාලය පිහිටුවාගෙන ඇත. මේ කාර්යාලය සඳහා නගර සභාවේ අනුමැතියක් හිමිව නැත. එමගින් ගාල්ල මහ නගර සභා සීමාවේ සායනික කටයුතු අඩපණ වීම හේතුවෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 09 වැනිදා සාකච්ඡාවක් පැවැති අතර එහි දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන් අප්‍රේල් 10 වැනි දා සිට එම ස්ථානයට ගොස් එන්නත් ඇතුළු සායනික කටයුතු සිදුකිරීමටත් වෛද්‍යවරු දෙදෙනා නගර සභාවේ සායනික කටයුතු සඳහා සහභාගීවීමටත් එකඟතාව ප්‍රකාශ කළහ.

එම එකඟතාව අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පසුගිය 10 වැනි දා කරාපිටියේ නීති විරෝධී ලෙස ස්ථාපිත කරන ලද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යනුවෙන් හඳුන්වාගන්නා ස්ථානයට එන්නත් කටයුතු සහා සහභාගී වුවද වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා පවසා ඇත්තේ එන්නත් කිරීම සඳහා එම ස්ථානය මෙතෙක් සූදානම් කර නැති බවයි. එදින එන්නත් කටුයුතු සිදුකර නැත. ඉන් පසු පසුගිය 17 වැනි දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයට යළි ගිය අවස්ථාවේ දී වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා ඔවුන්ට පවසා ඇත්තේ එම ස්ථානයේ වැඩ භාරගන්නා බවට ලිපියක් ලබාදෙන්නේ නම් පමණක් රාජකාරී කළ හැකි බවයි. එමෙන්ම සායනික කටයුතු සඳහා එම ස්ථානය සූදානම් නැති බවත් 09 වැනිදා රැස්වීමේ දී එකඟ වූ කරුණු අනුව කටයුතු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නොමැති බැවින් ඒ අනුව කටයුතු නොකරන බවත් වෛද්‍යවරයා පවසා තිබේ.

ඔහු පවසන්නේ තමන් රාජකාරී කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය ආකාරයට බවයි. මේ අනුව තවදුරටත් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතාමත් ප්‍රබල වෘත්තීය සමිතියක් වීම නිසා එම සංගමයට එරෙහිවීමට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම එම සංගමය වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා සුවිශේෂී සේවයක් කළ බව ද ආණ්ඩුකාරවරයා වරක් පවසා තිබිණි.

මේ හේතුවෙන් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ගැටලුව තවදුරටත් දික් ගැස්සෙමින් තිබේ.

Related articles

Recent articles

spot_img