spot_img
spot_imgspot_img

“වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ” – ශිරාල්

පුවත්

විදෙස්

යෝජිත වරාය නගර පනත සම්මත වුවහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට ඇති අනුලංඝනීය පිළිගැනීම උල්ලංඝනය වන බව නීතිඥ ශිරාල් ලක්තිලක අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

යෝජිත වරාය නගර කොමිසම පනත් කොටුම්පතට එරෙහිව පෙත්සම් විභාගය පැවැත්වූ අවස්ථාවේ දී හෙතෙම මේ බව කියා සිටියේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධ, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමිනි.

43 සේනාංකය හා ජාතික නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් යෝජිත වරාය නගර පනතට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරන ලද බන්දල චන්ද්‍රසේකර වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පෙනී සිටි අවස්ථාවේ දී ඔහු මෙම කරුණු දැක්වූයේය.

ඔහු එහි දී වැඩිදුරටත් පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට වන බවයි. එමෙන්ම එය සමානවන්නේ අමරිකා එක්සත් ජනපදය හා පෝටෝරිකෝව අතර පවතින ෆෙඩරසි පන්නයේ නෛතික ව්‍යූහයකට වන බව ද ඔහු කීවේය.

ඒ අනුව මෙම කොමිසමේ පැවැත්ම මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් බවට ඇති අනුලංඝනීය පිලිගැනීම උල්ලංඝනය කරන බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක එයින් පාර්ලිමේන්තුව සතුව නීති සැදීම සඳහා වන උත්තරීතර බලය පැහැර ගෙන තිබෙන බවද සඳහන් කළේය.

තවද අප ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන අපේ පාලන ක්‍රමය නිදහස් ස්වාධීන, ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට ඇති පිලිගැනීම මෙම පනත මගින් පරාජය කොට තිබෙන බව අධිකරණය හමුවේ පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක ලෝකයේ මෙන්ම අප රටේ ද විදේශ ආයෝජන ආරක්ෂා කරගැනීම සඳහා විවිධ නෛතික ව්‍යුහයන් අතීතයේ සිට හඳුන්වා දී තිබුනද මෙවැනි ආකාරයේ ෆෙඩරල් පන්නයේ බලතල සහිත ව්‍යුහයක් හඳුන්වාදීම පිලිබඳව කිසිදු පුර්වාදර්ශයක් අපට සොයාගත නොහැකි බවද කීවේය.

මෙම පනත මගින් සත්‍යවශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යුහය  මංකොල්ලකාරී හොර ධනවතුන් කණ්ඩායමකට වඩාත් වාසි සහගත වන එකක් බවත් එමගින් සදාචාර විරෝධීව හා කිසිදු ආකරයකින් නීතියේ පාලනයකට, පාර්ලිමේන්තුවේ පාලනයකට හෝ විගණකාධිපතිවරයාගේ පාලනයකට නතු නොවී කිසිදු නෛතික වගකීමකින් හෝ පෙරලා බදු ගෙවීමෙන් ද තොරව ලාභ ලබාගෙන එම ලාභය තමන්ගේ පුද්ගලික ගිනුමකට බැර කරගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවත් ප්‍රකාශකල ශිරාල් ලක්තිලක රටටද පුරවැසින්ටද මෙමගින් අත්වන වාසිය සොච්චම් ප්‍රමාණයක් බවද කරුණු සහිතව පෙන්වා දෙන ලදී. 

එම නිසා නඩුකටයුතු ආරම්භයේ දී ඉදිරිපත් කල තාක්ෂණික පදනම් මත මෙම කෙටුම් පත සාකච්ඡාවට නොගෙනම අධිකරනය විසින් මුල සිටම ශුන්‍ය කෙටුම්පතක් ලෙස සලකා ප්‍රතිකෂේප කරන ලෙසද  එසේ නොමැති නම් ජනමත විචාරණයකින් රටේ ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකරන ලෙස ද ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!