spot_img
spot_imgspot_img

කොරෝනා තුන්වැනි රැල්ල හිස ඔසවයි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව සහ සපයනු ලබන සෞඛ්‍ය පහසුකම් පිළිබඳවත් තීරණය කළ යුත්තේ මාධ්‍යය නොවේ. එය සිදුකළ යුත්තේ සෞඛ්‍ය හා වෛද්‍ය විශේෂඥයන් විසිනි. ඔවුන් දන්නා දෙයත්, ඔවුන්ට තේරෙන දෙයත් අනුව ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා දේශපාලන බල අධිකාරිය අවසන් තීරණය ගත යුතුය.

කොරෝනා නොව ඕනෑම වසංගත තත්ත්වයක දී හෝ වේවා ආපදා තත්ත්වයක දී හෝ වේවා අවසන් තීරණය ගන්නේ දේශපාලකයන්ය. මේ තීරණය අනුව එම අවස්ථාවේ දී වසංගතය හෝ ආපදාව කළමනාකරණය කරගන්නා ආකාරය අනුව අනාගතය තීරණය වෙයි.

දැන් අප රට පත්ව ඇත්තේ එවැනි සංක්‍රාන්ති අවදියකටය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව නොදන්නා කොරෝනා වසංගතයේ පළමු රැල්ල ශ්‍රී ලංකාව අපූරුවට පාලනය කර ගත්තේය. ඒ නිසාම රෝගීන් පමණක් නොව මරණ සංඛ්‍යාව ද ඉතා අවම අගයක් ගත්තේ කොරෝනා පාලනය කළ ලොව හොඳම රටක් බවට පත්වෙමිනි.

නමුත් දෙවැනි රැල්ලකට අප සූදානම් වූවා ද යන්න ගැටලුවකි. නොසිතූ මොහොතක පසුගිය 2020 ඔක්තෝබර් මස 04 වැනි දා දෙවැනි රැල්ල ආරම්භ විය. පළමු රැල්ලේ දී මෙන් දෙවැනි රැල්ලේ දී රට නොවැසූ පාලකයෝ එය පාලන කිරීමට නොඑක් උත්සාහ දැරූහ. එහෙත් එය පළමු රැල්ල තරම් සාර්ථක වූයේ නැත. එතේ කොරෝනා රටේ පාලකයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද සාමාන්‍ය කරණය විය. යම් යම් සීමා මායිම් පැනවුව ද කොරෝන මර්ධනය කිරීම සඳහා රට පෙර මෙන් වසා දැමුණේ නැත.

මාර්තු අවසානය වනවිට මෙරට උත්සව සමය ආරම්භ විය. පාස්කු ප්‍රහාරය සහ කොරෝනා හේතුවෙන් වසර දෙකක් අවුරුදු උත්සව කාලයේ බිමටම හාන්සි වී සිටි ව්‍යාපාරික ප්‍රජාව ද කීයක් හෝ හරි හම්බකරගැනීම සඳහා සූදානම් විය. රට වැසුවහොත් ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බව දත් පාලකයෝ ද රට වසා දැමුවේ නැත. සෞඛ්‍ය අංශ වරින් වර සංචරණ සීමා පණවන ලෙස ර‍ජයට කියා සිටිය ද ඉතා අඩු ප්‍රතිශතයක් මියයන කොරෝනාවලට බිය වී රට වසා ආර්ථිකය තවදුරටත් විනාශ කරගන්නවාට වඩා කිහිප දෙනකු කොරෝනාවෙන් මිය ගිය ද රටේ ජනතාවට උත්සව සැමරීමට ඉඩ දිය යුතුයැයි පාලකයන් සිතන්නට ඇත. ඒ නිසාම සංචාරක සීමා පැනවූයේ නැත.

බක් මහ ලබන්නට පෙර දී ම ශ්‍රී ලංකාව පුරා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම අහඹු පීසීආර් පරීක්ෂණ පැවැත්වීම නවතා දැමිණි. ඒ නිසා කොරෝනා ආසාදිතයන් හමුවූයේ නැත. සංඛ්‍යාලේඛන දත්තවලින් කියවුණේ ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම අවම වී ඇති බවයි. මේ දත්ත පීසීආර් පරීක්ෂණ සිදුනොකර කෘතිමව ලබාගන්නා දත්තයක් බව කිසිවක් නොදන්නා අහිංසක ජනතාව දැන සිටියේ නැත.

සිංහල හින්දු අලුත් අවුරුද්ද පමණක් නොව ඉස්ලාම් ආගමිකයන්ගේ උපවාස කාලයද අප්‍රේල් මැද උදාවිය. වසර දෙකක්ම සැණකෙළිවලින් තොරව සිටි මෙරට ජනතාව ඇසට නොපෙනෙන කොරෝනා මාරයා අමතකර කර උත්සව සැමරූහ. ත්‍රිකුණාමලයේ හින්දු කෝවිලක දිය කැපීමේ මංගල්‍යයට දහස් ගණන් සහභාගී වූහ. වැල්ලවත්, ගාලු මුවදොර, බේරුවල, හික්කඩුව, උණවටුන, පානම වැනි සුන්දර වෙරළ තීර හිස් ගොඩවල්වලින් පිරී ඉතිරී ගියේය. සිරිපා වන්දනාවට නීති පනවා තිබුණ ද අවුරුදු දිනවල සිරිපා වන්දනාවේ යනඅයකුට එකම පඩියක පැය භාගයකට වඩා සිටින්නට සිදුවූයේ දහස් ගණන් බැතිමතුන් කොරෝනා අමතක කර වන්දනාවට එක්ව සිටි බැවිනි. රටේ සෑම නගරයකම රෙදි කඩ ඇතුළු ව්‍යාපාරික ස්ථාන මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේය.

මිනිස්සු අවුරුදු සැමරූහ. මේ අතර කොරෝනා මාරයා සිටින බව කොතෙක් කීව ද ඔවුන් එය පිළිගත්තේ නැත.

දැන් කොරෝන තුන්වැනි රැල්ල හටගෙන තිබේ. ඊයේ කුරුණෑගල ගම්මානයක් වසා දමන්නට සිදුවිය. පමුණුවේ අද කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හමුවී තිබේ. බැංකු සේවකයෝ කිහිප දෙනෙක් ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. තුන්වැනි රැල්ල දැන් පෙනෙන්නට තිබේ.

පළමු රැල්ල අපි හොඳින් පාලනය කළේය. දෙවැනි රැල්ල අසීරුවෙන් පාලනය කළ ද වැඩි හානියක් සිදුවූයේ නැත. නමුත් තුන්වැනි රැල්ල හිස ඔසවන විට ඉවක් බවක් නැති සංචාර සහ උත්සව සැමරීම හමුවේ කොරෝනා රට පුරාම ව්‍යාපත් වී ඇත. ඉදිරි සති දෙකේ දී මේ තුන්‍වැනි රැල්ලේ භයානකත්වය යම් තරමකින් හෝ තේරුම්ගත හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!