බ්‍රිතාන්‍ය මහ රැජින දෙවෙනි එලිසබෙත් තම වල්ලභයා වූ පිලිප් කුමරුට වසර 74කට පසු නිහඬවම සමුදුන්නාය. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ දී ඇය දේවස්ථානයේ ඉදිරි අසුන් පෙළක තනිවම වාඩිවී කඳුළු පිරි දෙනෙතින් යුතුව තම සැමියාගේ දේහය තැන්පත් කර ඇති මංජුසාව දෙස නිහඬවම බලා සිටියේ හැඟීම් බර ආකාරයෙනි.

වින්ඩ්සර් කාසල් හි පිහිටි ශාන්ත ජෝර් දේවස්ථානයේ පැවැති මෙම අවමංගල්‍යය උත්සවය සඳහා රාජකීය පවුලේ සාමාජික සාමාජිකාවන් 30 දෙනකු පමණක් සහභාගී වූහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධානය නීති අනුව රාජකීය අවමංගල්‍යයට ද එලෙස සහභාගීවන්නන් සීමා කර තිබිණි.
එඩින්බරෝ ආදිපාදවරයා ලෙස හැඳින්වෙන පිල්ප් වසර 99ක් ආයු වළඳා වින්ඩ්සර් මාළිගාවේ දී මියගියේය. ඔහුගේ බිරිඳ දෙවැනි එලිසබෙත් මේ වනවිට බ්‍රිතාන්‍යය රාජකීයයන් අතර දීර්ඝතම කාලයක් කිරුළ දැරූ තැනැත්තිය වන බැවින් එඩින්බරෝ ආදිපාදවරයා ද පාලක රජකිරුල දැරූ අයගේ වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් ගත කිරීමේ වාර්තාවට හිමිකම් කියයි.

මෙම අවමංගල්‍යය පැවැතියේ රාජකීය පවුලේ විවිධ හැල හැප්පීම් මධ්‍යයේය. හැරී කුමරු සිය බිරිඳ මේගන්, සසෙක්ස් ආදිපාදවරිය සමඟ සහභාගී වූ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවකින් පසු සිය පවුලේ අය සමඟ ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.
අවමංගල්‍ය දේව මෙහෙය අවසන්වීමෙන් පසු හැරී කුමරු සහ විලියම් කුමරු එකිනෙකා හා කතා කරමින් එක්ව ගමන්කරනු දැකිය හැකි විය.
මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ පිරිස අතර පිලිප් කුමරුගේ ඥාතීන් හා කිට්ටු මිතුරන් ද වූහ.
මෙම උත්සවය සඳහා රාජකීය පවුලේ සාමාජික සාමාජිකාවන් 30 දෙනකු පමණක් සහභාගී වී සිටි නමුත් පිලිප් කුමරුගේ හමුදා දිවියට ගෞරව කිරීම සඳහා රාජකීය නාවික හමුදාව, රාජකීය මැරයින් භටයන්, බ්‍රිතාන්‍ය යුද හමුදාව සහ රාජකීය ගුවන් හමුදා නිලධාරීන් 700කගේ සහභාගීත්වයෙන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණි.
1953 දී කපිතාන් ජනරාල්වරයකු ලෙස පිලිප් තම නාවික හමුදා සේවය අවසන් කිරීමෙන් පසුව ද ජීවිත කාලය පුරාම හමුදා ප්‍රජාව සමඟ ඉතා සමීපව කටයුතු කළේය.
ඔහුගේ දේහය බහාලූ මංජුසාව මත ඔහුගේ පුද්ගලික ධජය, නාවික හමුදා තොප්පිය සහ අසිපත තැන්පත් කර තිබූ අතර මල් වඩමක් ද ඒ මත තබා තිබිණි. මෙම දේහය වින්ඩ්සර් මාළිගයේ සිට දේවස්ථානය වෙත රැගෙන යන ලද්දේ විශේෂයෙන් සැකසූ ලෑන්ඩ් රෝවර් ජීප් රථයකිනි. 2003 වර්ෂයේ සිය 82 වැනි ජන්ම දිනයේ දී පිලිප් කුමරු විසින්ම තමන් වඩාත් ඇලුම් කළ මෙම රථය ඔහු මියගිය දිනක දේහය රැගෙන යාම සඳහා සුදුසු ආකාරයෙන් නිර්මාන්‍ය කර තිබීම විශේෂත්වයකි. මේ රථය 2003 වර්ෂයේ සිට ඔහුගේ දේහය රැගෙන යාමට සූදානම්ව තිබිණි.

මාළිගයේ සිට දේවස්ථානයට ඇති කෙටි දුර රාජකීය පවුලේ සාමාජිකයන් පෙරහැරක් ආකාරයෙන් ගමන් කළ අතර චාල්ස් ඉතාමත් හැඟුම්බරව මෙම අවමංගල්‍ය රථය පිටුපස ගමන් කළේය. චාර්ල්ස් සමඟ ඇන්ඩෲ කුමරු, ඈන් කුමරිය, එඩ්වඩ් කුමරු සමඟ විලියම් සහ හැරී දෙදෙනා ද ගමන් කළහ. විලියම් සහ හැරී අතරින් ඔවුන්ගේ පළමු ඥාති සහෝදරයා වන පීටර් ෆිලිප්ස් ගමන් කළේය.

මෙම අවමංගල්‍ය උත්සවය සඳහා රාජකීය පවුලේ අයට හමුදා නිල ඇඳුමින් සැරසීම මහ රැජින විසින් වළක්වා තිබිණි. ඒ වෙනුවට රාජකීය සම්ප්‍රදායේ ශෝකාකූල ඇඳුම් ඇඳීමටත්, තම යුද හමුදා පදක්කම් එහි පැළඳීමටත් දන්වා තිබිණි. නැතිනම් සාමාන්‍ය ශෝකාකූල ඇඳුමකින් සැරසීම අනුමත කර තිබිණි.
රාජකීය අවමංගල්‍ය පෙරහැර දේවස්ථානයට පැමිණෙන අතරතුර රැජින වෙනම දේවස්ථානයට පැමිණියාය.
කැන්ටබරි අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති දේව මෙහෙයෙන් පසු ආදිපාදවරයාගේ දේහය සහිත මංජුසාව රාජකීය දේහ තැන්පත්කිරීමට තනා ඇති කුටියේ තැන්පත් කරන ලදී. එය දේවස්ථානයේ බිම් මහළේ ඉදිකර ඇත්තේ තුන්වැනි ජෝර්ජ් රජු විසිනි. නමුත් මේ ස්ථානය පිලිප්ගේ දේහය සැතපෙන අවසන් ස්ථානය නොවේ. දෙවැනි එලිසබෙත් රැජින මියගිය දිනක පිලිප් කුමරුගේ දේහය හයවැනි ජෝර්ජ් රජුගේ අනුස්මරණ දේවස්ථානය වෙත ගෙන යාමට නියමිතය.
https://edition.cnn.com/2021/04/17/uk/prince-philip-funeral-intl-gbr/index.html

