spot_img
spot_imgspot_img

හෝමෝ ඉරෙක්ටස්ගේ දඩබිම් නිසා නූතන මානවයා පරිනාමය වූ හැටි

පුවත්

විදෙස්

නූතන මිනිසාට වඩාත් සමීප හැසිරීමක් හා සමාන ශරීර ව්‍යුහක් තිබූ වානර විශේෂය වූ හෝමෝ ඉරෙක්ටස් ජීවත් වූ සහ දඩයම් කළ පරිසර සාධක හේතුවෙන් වත්මන් මානවයා පරිනාමය වූ බව ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පුරාමානවවිද්‍යාඥයෝ කියති.

1974 දී හමු වූ අස්ථිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ හික්කබලේ පිටුපස අස්ථි කොටසකි.

ඔවුන් මේ බව පවසන්නේ 1974 වර්ෂයේ දී කෙන්යාවෙන් සොයාගත් හෝමෝ ඉරෙක්ටස් හිස්කබලක අස්ථි කොටසක් සහ එම අස්ථිය හමුවූ ස්ථානයේ කරන ලද පරීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගනිමිනි.

හෝමෝ ඉරෙක්ටස් අදින් වසර මිලියන දෙකකට පෙර මිහිතලය මත ජීවත්ව ඇති බව ද එම අස්ථි කොටස අධ්‍යයනය කිරීමේ දී තහවුරු වී තිබේ. මීට පෙර විශ්වාස කළේ එය වසර මිලියන 1.78ක් පැරණි විය හැකි බවයි.

මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ හෝමෝ ඉරෙක්ටස් අදින් වසර මිලියන 02කට පෙර ද මිහිතලය මත ජීවත්වී ඇති බවයි.

එම පර්යේෂකයන් අනෙකුත් ක්ෂීරපායීන්ගේ පොසිල ද නිරීක්ෂණය කර ඇති අතර එමගින් ඔවුන්ට මෙම සතුන් ජීවත් වූ පුරාණ පරිසරය පිළිබඳවද අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මේරියස් බියර්නා මෙසේ පවසයි.

“අපගේ විශ්ලේෂණයන්ගෙන් තෘණ බිම් වැනි විවෘත පරිසරවල ජීවත්වීමට කැමති ශාක භක්ෂකයන් විශාල ප්‍රමාණයක් මෙම පරිසරයේ ජීවත්ව තිබෙන බව තහවුරු වුණා. හෝමෝ ඉරෙක්ටස් අපි දකින් නූතන මානවයාගේ ඇතැම් ලක්ෂණ පරිනාමය වීමට මේ පරිසර පද්ධතීන් විශාල උත්තේජයක් වී තිබෙනවා.”

මෙම අස්ථි කොටස 1974 වර්ෂයේ දී සොයාගන්නා ලද්දේ කෙන්යාවේ නැගෙනහි ටර්කානා විල ආසන්නයේ දී ය. කෙසේ වෙතත් ලෝකයේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ සුවිශේෂී සොයාගැනීම් ගණනාවක් තිබේ. ජෝර්ජියාවේ ඩ්‍රිමොලන් ප්‍රදේශයෙන් හමුවී තිබූ හෝමෝ ඉරෙක්ටස් අස්ථි කොටස් මීට පෙර හමුව තිබූ පැරණිතම අස්ථි කොටස් ලෙස විශ්වාස කළ අතර එය වසර මිලියන 1.78ක් පැරණිය.

කෙන්යාවේ නැගෙනහිර ටර්කානා ප්‍රදේශයේ මෙම අස්ථිය හමුවූ පදේශය එකල පුරාවිද්‍යාඥයන් විසින් සළකුණු කර තිබුණ ද ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම Google earth පහසුකම බාවිතා කර එම නිශ්චිත ස්ථානය නැවත අධ්‍යයනය කරන ලදී. එමෙන්ම චන්ද්‍රිකා දත්ත සහ ගුවන් නිරූපන අනුව වත්මන් පිහිටීම අතීතයේ කෙසේ තිබෙන්නට ඇත්දැයි ප්‍රතිනිර්මාණය කිරීමට ද පර්යේෂකයෝ කටයුතු කළහ.

අධ්‍යයනය කළ ප්‍රදේශය

ඔවුන් මේ ස්ථානයේ තිබූ පාෂාණ හා පැරණි ගිනිකඳු අළු පවා විශ්ලේෂණය කර තිබේ.

හමුවූ හිස්කබල් කොටසෙහි මෙම ස්ථානයේ පැරණි පාරිසරික සාධක කිසිවක් ඉතිරිව නැතත් නමුත් කරන ලද විකිරණමිතික විශ්ලේෂණයන්ගෙන් මෛම ස්ථානයේ ඇති අනෙකුත් සාධක ද වසර මිලියන දෙකකට ආසන්න කාලයක් දක්වා අතීතයකට දිවයන බව තහවුරු කරගත හැකිවිය.

එමෙන්ම ස්ථානීය අධ්‍යයනයෙන් හෝ‍මෝ ඉරෙක්ටස් මානවයාගේ තවත් නිදර්ශක දෙකක් සොයා ගැනීමට පර්යේෂකයෝ සමත්වූහ. හිස් කබලක කොටසක් හමුවී තිබූ ස්ථානයෙන් අඩි 164ක් ඇතුළත අර්ධ ශ්‍රෝණි සහ පාද අස්ථියක් සොයා ගැනීමට හැකිවිය.

වසර මිලියන දෙකක සිට මිහිතලය ත ජීවත් වූ හෝමෝ ඉරක්ටස් තවත් මානව විශේෂ මඟ විවිධ කාල වකවානුවල දී ජීවත් වූ බව පුරාමානවවිද්‍යාඥයෝ කියති.

හමු වූ අර්ධ ශ්‍රෝණි අස්ථිය
හමු වූ පාද අස්ථි කොටස

හෝමෝ ඉරෙක්ටස්

වසර මිලියන දෙකකට පමණ පෙර අප්‍රිකාවේ පරිනාමය වූවා යැයි විශ්වාස කරන පළමු හෝමෝ ඉරෙක්ටස් ඉතා ගෝලීය සංචාරකයකු බවට පත්වූ පළමු මානව විශේෂයයි. ඔවුන් අප්‍රිකාවේ සිට යුරේසියාවට සංක්‍රමණය වී ජෝර්ජියාව, ශ්‍රී ලංකාව, චීනය සහ ඉන්දුනීසියාව දක්වා ව්‍යාප්ත වී ඇති බව දන්නා කරුණකි.

ඔවුන් අඩි 05කට මදක් අඩු උසක සිට අඩි 06ක් දක්වා උසැති මානවයන්ගෙන් යුක්ත විය. නූතන මිනිසුන්ට වඩා කුඩා මොළයක් හා බරක් සහිත ඔවුන් නූතන මානවයාගේ ප්‍රධාන පරිනාමීය පියවරක් ලෙස සැළකේ. මීටර වසර 400,000කට පමණ පෙර හෝමෝ ඉරෙක්ටස් මිහිතලයෙන් අතුරුදන් වූ බව විශ්වාස කළ ද ඔවුන් අදින් වසර 140,000ක් තරම් දක්වා ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී. හෝමෝ ඉරෙක්ටස් දඩයම් කළ අතර ගින්දර බාවිතා කළ බවටත් ගල් ආයුධ සෑදූ බවටත් සාධක පවතී.

https://www.dailymail.co.uk/sciencetech/article-9476413/Skull-bone-reveals-human-ancestor-Home-erectus-lived-2-MILLION-years-ago.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!