spot_img
spot_imgspot_img

මිනිසා අජඨාකාශය ජයගෙන වසර 60යි. එදා ගගාරින් පිළිගත් මැගිනෝනා කියන කතාව (වීඩියෝ)

පුවත්

විදෙස්

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු අභ්‍යාවකාශයට ගොස් අද 2021 අප්‍රේල් මස 12 වැනි දිනට වසර 60ක් සම්පූර්ණ වෙයි. මේ ඓතිහාසික ගමනේ යෙදුණේ රුසියානු ජාතික යූරි ගගාරින් හෙවත් යූරි ඇලෙක්සවිව් ගගාරින්ය.

1960 අප්‍රේල් 12 වැනි දා රුසියාවේ වේලාවෙන් පෙරවරු 10.07ට වොස්ටෝක් යානයෙන් පෘථිවියේ සිට කිලෝ මීටර 302ක් දුරින් පැයට කිලො ්මීටර 28,260ක වේගයෙන් මිනිත්තු 108ක් කක්ෂගතව සිට නැවත පැමිණීමට හෙතෙම සමත්වූයේය.

රුසියානු සමූහ ගොවිපලක වඩු කාර්මිකයකු වූ ඇලෙක්ස් සහ ඇනා යුවලගේ පවුලේ තෙවැනි දරුවා වශයෙන් 1934 මාර්තු 9 වැනිදා උපත ලද යූරි ගගාරින්ට දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ජීවත් වූ ප්‍රදේශ හැරදමා යන්නට සිදුව තිබිණිි. යළි  ඔහු තම ගමට පැමිණියේ 1946 වර්ෂයෙන් පසුවය.  1949 දී කාර්මික තාක්ෂණ පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ ගගාරින්, 1951 දී අභ්‍යවකාශ විද්‍යා සංගමයට එක්වූයේය. රුසියානු ගුවන් හමුදාවට එක්වූ ගගාරින් ගුවන් යානා තාක්ෂණය පිළිබඳ කීර්තිමත් සිසුවකු බවට පත් වූ අතර, මිග් ප්‍රහාරක යානා පැදවීමේ සූරයෙක් බවටද පත්විය.1960 දී ඔහු අජටාකාශ භට කණ්ඩායමට තෝරා ගනු ලැබිණි.

අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා වූ ගගාරින් ‘සෝවියට් සංගමයේ වීරයා’ සම්මානයෙන් පුද ලද්දේය. එමෙන්ම ලෝක වාසීන්ට ඉමහත් පුදුමයක් වූ අභ්‍යාවකාශ ගත වීමේ සමත්කම දැක්වූ මේ මිනිසාට විවිධ රටවලින් ආරාධනා රැසක් ලැබිණි. ශ්‍රී ලංකාව ද ඔහුට තම රටට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර ඒ ආරාධනාව පිළිගත් ගගාරින් 1961 දෙසැම්බර් ම 07 වැනි දා රත්මලාන ගුවන්තොටුපොළින් ලංකාවට පා තැබුවේය. ඔහුගේ බිරිඳ වැලන්ටිනා ගගාරින්ද මේ ගමනට එක්ව සිටියාය.

ඔහුගේ පැමිණීම දැකබලා ගැනීම සඳහා රත්මලාන ගුවන්තොටුපොළට 5,000කට අධික පිරිසක් පැමිණ සිටි අතර ඔහු ආණ්ඩුකාරවරයා මුණ ගැසීම සඳහා රජ ගෙදරට යන මග දෙපස ද විශාල පිරිසක් රැස්ව සිටියහ.

ඔහු ගුවන් තොටුපොළේ දී පිළිගත් පිරිස අතර එක් සුවශේෂී චරිතයක් විය. ඒ විජේලමගේ මැගිලින් නෝනාය. එවකට ඇය ‘වීර මැගිලින්’ යන නාමයෙන් රට පුරා ජනප්‍රියත්වයට පත්ව සිටියාය. කොළඹ දිස්ත්‍රිකයේ දියගම ග්‍රාමයේ පිහිටි දියගම ඇලේ ගසා ගෙන ගිය හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ ජීවිත බේරා ගැනීම සඳහා ජල රකුසා සමඟින් පොරබඳින ලද එවකට පාසල් දැරියකවූ 15 හැවිරිදි මැගිලින්ගේ වික්‍රමය නිසා ඒ සියළු දෙනාගේම දිවි බේරුනි.

ගුවන්තොටුපොළේ දී ම පැමිණ සිටි ජනතාව අමතමින් ඉතාමත් කෙටි අදහස් දැක්වීමක් කළ යූරි ගගාරින් “මම ලංකාවට ආදරෙයි” යනුවෙන් ද උච්ඡාරණය කළේය.

ඔහු කළ කතාව මෙසේ ය.

“ලංකාව ගැන භූගෝල ශාස්ත්‍ර පොත්වලින් බොහෝ දේ දැනගත්තත් මෙහි පැමිණ මගේ ඇසින්ම ලංකාවේ සිරි දැක ගැනීමට ලැබී ගැන අතිශය ප්‍රීතියට පත් වන්නෙමි. ඒ අවස්ථාව ලබාදීම ගැන ලංකා අගමැති බණ්ඩාරනායක මහත්මියටත් ලංකා ආණ්ඩුවටත් ජනතාවටත් කෘතඥ වන්නෙමි. රුසියානු ජනතාවගේ සුබ පැතුම් සමඟ ලංකාවට පැමිණී මට ලාංකීය ජනතාවගේ සුබ පැතුම් සමඟ ආපසු යන්නට ලැබේවා.”

ප්‍රථම මානව අභ්‍යවකාශ තරණයේ 50 වැනි සංවත්සරය නිමිති කොට ගෙන 2011 අප්‍රේල් 26 වැනි දින මුද්දර කාර්යාංශය මඟින් වටිනාකම රු 5.00 ක්වූ වෘත්තාකාර (circle) තැපැල් මුද්දරයක් එලි දැක්වුණි. ප්‍රවීන මුද්දර සැලසුම් ශිල්පී සනත් රෝහණ වික්‍රමසිංහ මෙම මුද්දරයේ නිර්මාණකරුවාය. රවුම් හැඩැති මුද්දරයක් වුව ද එය බැලූ බැල්මට සමචතුරශ්‍රාකාර හැඩයක් ගනී.

අභ්‍යාවකාශය ජයගත් යූරි ගගාරින් 1968 මාර්තු 27 වැනිදා ගුවන් අනතුරකින් ලොවින් සමුගත්තේය.

 ඔහු අභ්‍යවකාශ ගත වූ අප්‍රේල් 12 වැනිදා ‘ජාත්‍යන්තර අභ්‍යවකාශ පියාසර දිනය’ (International day of human space flight) යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් නම් කර තිබේ.

ඔහුගේ මෙම ඓතිහාසික ශ්‍රී ලංකා ගමනේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගොස් සිහිවටන ශාඛයක් රෝපණය කළේය. එය දැන් අවුරුදු 60ක් වයසැතිය.

https://lka.rs.gov.ru/en/news/10510

මැගිලින් නෝනාව විසින් යූරි ගගාරින් පිළිගත් අස්ථාව
මැගිලින් නෝනා විසින් යූරි ගගාරින් පිළිගත් අවස්ථාව දැක්වෙන තවත් ඡායාරූපයක්

සනත් රෝහණ විසින් නිර්මාණය කළ මුද්දරය
යූරි ගගාරින් විසින් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කළ ශාඛය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!