spot_img
spot_imgspot_img

බද්දේගම විෂ ආහාර සෙවීම ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ හිතවත්කම් නිසා වළකී. ජනතාව අවදානමේ

පුවත්

විදෙස්

බද්දේගම නගරය හා ඒ අවට ව්‍යාපාරික ස්ථානවල අළෙවියට තබා ඇති පොල්තෙල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල විෂ සහිත හා මිනිස් පරිභෝජනයට ‍නුසුදුසු ආහාර ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද (06) සිට කරන ලද වැටලීම් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නියෝගයක් මත නතර කිරීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු තම ආයතන ප්‍රධානියා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැඩිලෙස විරෝධය දක්වා තිබේ.

අද (06) පෙරවරු‍වේ බද්දේගම නගරයේ පිහිටි තොග කඩ තුනකින් ඇෆ්ලාටොක්සීන් අඩංගු බවට සැකකරන පොල් තෙල් ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක සාම්පල ලබාගැනීමත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වහාම එම පරීක්ෂා කිරීම් නවතා දමන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී තිබේ.

මේ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි විරෝධය දක්වමින් පවසා ඇත්තේ එසේ වැටලීම් නතර කිරීම මහජන සෞඛ්‍යයට හානිකර බවයි. නමුත් වෛද්‍යවරයා පවසා ඇත්තේ බද්දේගම ව්‍යාපාරිකයන් තම පුද්ගලික හිතවතුන් බැවින් එලෙස වැටලීම් කිරීමට ඉඩ දිය නොහැකි බවකි.

“මම බද්දේගම ගමේ මනුස්සයෙක්. මේ මිනිස්සු මගේ හිතවත් අය. වැටලීම් කරන එක මට ලොකු ප්‍රශ්නයක්” යැයි වෛද්‍යවරයා කියා ඇත.

“එහෙනම් ඔබතුමා ඒ අයත් එක්ක ඉන්න. අපිට නීත්‍යානුකූලව සේවය කරන්න දෙන්න බැරිනම් අපි යන්නම්. ගමේ කෙනෙක් හැටියට ගමට පත්වීම අරගෙන ආවේ ඇයි. අපි යන්නම්. ඔබතුමා ගමේ ඉන්න” මහජන සෞඛය පරීක්ෂකවරු පවසා තිබේ.

එවිට වෛද්‍යවරයා පවසා ඇත්. “නෑ. ඔයාලා ඉන්න මම යන්නම්” යනුවෙනි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ මෙම වෛද්‍යවරයා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදුකළ යුතු වැටලීම්, නඩු පැවරීම් පමණක් නොව කොරෝනා මර්ධන කටයුතු පවා නිසි පරිදි කිරීමට කාලයක සිට ඉඩ නොදෙන බවයි. මේ සියල්ලටම ඔහුගේ ඥාති හිතවත් කම් හරස්වන බව ද ඒ බව ගාල්ල දිස්ත්‍රික්කයේ අනිකුත් නිලධාරීන් පවා දන්නා බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසති.

මෙම වෛද්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම නගරයේ ඔහුගේ හිතවතකුගේ නිවසක සාදයක් ද පැවැති අතර එම සාදයට පැමිණි අයකු කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් හඳුනාගත්ත ද එම සාදයට සහභාගී වූ වෛද්‍යවරයාගේ හිතවතුන් රැසක් නිරෝධායනයට පවා යොමු කිරීමට ඉඩ නොදුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු නගන චෝදනාවකි.

එම පිරිස අතර බද්දේගම නගරයේ ව්‍යාපාරිකයෝ රැසක් ද වූහ.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සහ ඒ අවට ජනතාව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය අතර විෂ සහිත ආහාර ද්‍රව්‍ය ඇත්දැයි යන්න පවා හඳුනාගැනීමට නොහැකි වී ඇතැයි චෝදනා කරන්නේ එම වෛද්‍යවරයා යටතේම කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසිනි.

1 COMMENT

  1. මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය ගන්නා ක්‍රියාමාර්ගය වහා රටට හෙළි කරන්න. ඔහු සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේද? ප්‍රවෘත්තියේ හැටියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛද්‍යවරුන්ට වඩා ඉදිරියෙන් නේද ඉන්නේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!