ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා එහි අනුශූරතාව දිනාගත් කාන්තාවට එය පැළඳවීම හේතුනේ බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම විවාහ රූ රැජින අවසන් තරඟය කොළඹ නෙළුම් පොකුණේ දී ඊයේ (04) රාත්‍රී පැවැත්විණි. මෙම තරඟයේ ජයග්‍රාහිකාව ලෙස පුෂ්පිකා ද සිල්වා නම්කෙරුණු අතර ශිරන්ති රජාපක්ෂ හා කොළඹ පුරපතිනි මෙරට පථම ලෝක විවාහක රූ රැජින වූ රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ යන අය විසින් ඇයට කිරුළ පළන්දන ලදී.
ඉන් විනාඩි කිහිපයකට පසු වර්තමාන ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා දික්කසාද වූ තැනැත්තියක බැවින් ඇය මේ කිරුළ දැරීමට සුදුසුකම් නැතැයි කියා සිටියාය. ඉන් නොනැවතුනු ඇය පුෂ්පිකා ද සිල්වා අසළට ගොස් ඇය පැළද සිටි කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනූ කාන්තාවගේ හිස මත එය පැළඳවූවාය.
එක් දරු මවක් වන පුෂ්පිකා ද සිල්වා මේ අවස්ථාවේ නිහඬවම ම වේදිකාවෙන් බැස ගියාය. වෘත්තීය නිරූපන ශිල්පිනයක වන පුෂ්පිකා ද සිල්වා 2011 වර්ෂයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ පැළඳ ලෝක රූ රැජින තරඟාවලියට ද සහභාගී වූවාය.
මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදහස් ප්‍රකාශ කර ඇති පුෂ්පිකා ද සිල්වා පවසන්නේ තමන් දරුවා සමඟ ජීවත් වුව ද මෙතෙක් දික්කසාද වී නොමැති බවයි. දික්කසාද ගැහැණියක් නොවන තමන් මේ තරඟය සඳහා නුසුදුසු නම් එය මීට පෙර ප්‍රකාශ කළ යුතුව තිබූ බව ද ඇය පවසයි. ඇය තම සටහනක මෙසේ ලියා ඇත.
“ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් කිරුළ උදුරා ගනිද්දී මගේ හිස් ඇති වූ තුවාලවල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.
ඇය පවසන්නේ තමන්ගේ කිරුළ උදුරා ගතිමින් කරන ලද අසාධාරණය හා අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.
“සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැනියගේ කිරුළ උදුරාගන්නා ගැහැනියක් නො ව, අනෙක් ගැහැනිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැනියක් බව සිහිපත් කරමි.”
මේ අතර තරඟයේ සංවිධායක මණ්ඩලය පවසන්නේ තරඟාවලියෙය් නියම ජයග්‍රාහිකාව පුෂ්පිකා ද සිල්වා බවයි. එබැවින් හෙට (06) දිනයේ දී ඇගේ කිරුළ ලබාදීමට කටයුතු කරන බව ද සංවිධායක මණ්ඩලය පවසයි.


