දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ගැටලු රැසක් ඇති බවත් තවදුරටත් මේ ගැටලු නිරාකරණය නොවන්නේ නම් වහාම ක්‍රියාත්මක වනපරිදි එහි සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්කර නව නිලධාරීන් පත්කිරීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ කීවේය.
ඔහු මේ බව කියා සිටියේ පසුගිය මාර්තු 17 වැනි දා ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමඟ පැවැති සුහඳ හමුවක දී අප නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ කාපට් නිෂ්පාදනාගාරය විකුණා දැමීම සම්බන්ධනේ හා එහි දී සිදුවූ බව කියන අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර එම කරුණු පිළිබඳ ජනාධිපතිවරයාට පවා දැනුම් දී තිබූ වෘත්තීය සමිති නියෝජිතයකුගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් පැවැත්වීම නීත්‍යානුකූළ ද යන්න අප එහි දී ප්‍රශ්න කළේය.
එම අවස්ථාවේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳ බරපතල චෝදනා එල්ල වෙමින් තිබෙන බවයි. තමන්ට ද මේ සම්බන්ධ පෙත්සම් 30ක් පමණ ලැබී ඇති බවත් ඒ සියල්ලේම ඇත්තේ අභ්‍යන්තර ගැටුම් බවත් ආණ්ඩුකාරවරයා කීවේය. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
“මම පසුගිය දවසක මේ කාර්යාලයට යනවිට එහිි සේවකයන් රාජකාරී වෙලාවේ බීමත්ව හිටියා. ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒවා මේ කාර්යාලවල නොවිය යුතු දේවල්. කාර්යාලයේ අභ්‍යන්තර ප්‍රශ්න තිබෙනවා. ඒවා ඉක්මණින් විසඳා නොගත්තොත් අපි සාමාන්‍යාධිකාරී ඇතුළු සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලයම ඉවත් කරලා අලුතෙන් පත්කිරීම් කරනවා.”
අද (01) දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ හැකිවිය. එම අවස්ථාවේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය ගැන විමසූ විට ඇය කියා සිටියේ ආණ්ඩුකාරවරයා එවැනි තීරණයක් ගෙන නැති බවයි. තම කාර්යාලයේ එවැනි ගැටලු නැති බවත් සුළු පිරිසක් සියලු දේට විරුද්ධව කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.



