spot_img
spot_imgspot_img

ගාල්ලේ ජනතාව අමාරුවේ දමන වෛද්‍යවරු

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ගාල්ලේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.

මේ වනවිට ගාල්ල නගර  සභා සීමාවේ පීසීආර් සිදු නොකරන තත්ත්වයක් වෛද්‍යවරුන් විසින් නිර්මාණය කර ඇති අතර පසුගිය දා පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත බව තහවුරු වූ අයද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීම ද ඇණහිට තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාල්ල වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරන කාලයේ සිට ඔහුගේ අවශ්‍යතාව වූයේ ගාල්ල නගර සභා භූමියෙන් සෞඛ්‍ය අංශය ඉවත් කිරීමයි. මේ සම්බන්ධයෙන් ඔහු අවස්ථා ගණනාවක දී ම උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය.

පසුගිය දිනක ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා සහ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් අතර ඇති වූ බහන්බස්වීමක් පදනම් කරගෙන එම සිද්ධිය අධිකරණයට ද වාර්තා කර තිබිය දී නගර සභාවේ සිටින වෛද්‍යවරු දෙදෙනා මේ වනවිට නගර සභාවෙන් ඉවත්වී දිස්ත්‍රික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට වී සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මාධ්‍ය හමු පවත්වමින් එම කරුණ සාධාරණීකරණය කරමින් සිටින අතර ඔවුන් පවසන්නේ සෞඛ්‍ය අංශය නගර සභාවෙන් ඉවත්කළ යුතු බවයි.

වෛද්‍යවරු තම සේවය පැහැර හරිමින් තමන් සේවය කළ යුතු ස්ථානයෙන් බැහැරව සිටීමෙන් කොරෝනා මර්ධන කටයුතු අඩපණ වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පසුගිය දිනවල පීසීආර් පරීක්ෂණ 200ක පමණ ප්‍රමාණයක් සිදුකර තිබිණි. නමුත් දින 06කට වැඩි කාලයක් ගත වී ඇතත් එම පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ පිළිබඳ විමසූ විට ඔවුන් නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැත. මේ ගැන කරාපිටිය රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්නගෙන් විමසූ විට ද පිළිතුරක් නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා යන දෙදෙනාට මේ වාර්තාවල පිටපත් ලැබී තිබිය යුතු බවයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ වුවමනාව සහ වෛද්‍ය වෙනුර සිංගාරච්චිගේ පුද්ගලික අරමුණු හේතුවෙන් එම ප්‍රතිඵල පවා ඔවුන් නගර සභාවට ලබාදෙන්නේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල හොබවන වෛද්‍යවරු කිහිපදෙනකුගේ අත්තනෝමතික ක්‍රියාවන් හා පටු අරමුණු වෙනුවෙන් සිදුකරන මේ ක්‍රියාවන් හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ ගාල්ල මහනගර සභා සීමාවේ පදිංචි ජනතාව බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ කී‌වේය.

“අපේ වෛද්‍යවරුන් දෙදෙනාට නගර සභාවේ ආරක්ෂාව නැහැ. ඒ නිසා ඔවුන් එම ස්ථානයේ රාජකාරී නොකර ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ගියා. මේ නිසා නගර සභා සීමාවේ සායනික කටයුතු, එන්නත් කිරීම්, ඩෙංගු මර්ධන කටයුතු සියල්ල අඩාල වෙනවා. ඒකට නගර සභාවේ පාලන අධිකාරිය වගකිව යුතුයි. අපිට කරන්න දෙයක් නැහැ.”

මෙම කරුණු සම්බන්ධයෙන් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරිච්චිගෙන් විමසීමට උත්සාහ ගත්ත ද ඔහු අපගේ දුරකථන ඇමතුම් කිසිවකට පිළිතුරු දෙන්නේ නැත. ඔහු පවසන්නේ තම අදහස් පමණක් මාධ්‍යයේ පළ නොකර වෙනත් අයගේ අදහස් සමඟ තමන්ගේ නම පටලවන බැවින් අපට තොරතුරු නොදෙන බවිය. නමුත් ඔහු යම් ප්‍රකාශයක් කරන්නේ නම් එය ඔ්නෑම අවස්ථාවක පළ කිරීමට අපි කටයුතු කරන්නෙමු.

ගාල්ල මහ නගර සභාව හා වෛද්‍යවරු අතර ඇති ගැටලුව විසඳීමේ හැකියාව ඇති පුද්ගලයකු ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙයට මැදිහත්වීමට උත්සාහ ගත්ත ද වෛද්‍යවරු එම සාකච්ඡාවේ දී නැගිට ගොස් තිබිණි. ආණ්ඩුකාරවරයා පවසන්නේ වෛද්‍ය වෘත්තිය වැදගත් හා සුවිශේෂී වෘත්තියක් බැවින් ඔවුන් කියන දේ කරන්නට සිදුවන බවයි.

එබැවින් මේ ගැටලුව තවදුරටත් ගාල්ලේ ජනතාව අනතුරකට හෙළමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!