spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලට යනවානම් පීසීආර්/ඇන්ටිජන් සඳහා මුදල් රැගෙන යන්න

පුවත්

විදෙස්

පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ පුද්ගලික අංශයෙන් සිදුකරගෙන පැමිණෙන්න යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට උපදෙස් ලබාදීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

රෝහලේ ප්‍රකාශකයකු කීවේ පීසීආර් පරීක්ෂණ කට්ටල මිල අධික බැවින් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් නිකුත් නොකරන බවයි. මීට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව වාට්ටුවල දී සිදුකළ නමුත් මේ වනවිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ලැබී ඇති පරීක්ෂණ කට්ටලයේ ඉවත දැමිය යුතු කොටස් ආරක්ෂිතව ඉවත දැමීමට නොහැකිවීමත් එහි ඇති දියරයක් භාවිතා කිරීම රසායනාගාර සේවකයන්ගේ කාර්යයක් බවත් පවසමින් වෛද්‍යවරු සහ හෙදියන් මෙම පරීක්ෂණ සිදුකරන්නේ නැත. මේ සම්බන්ධයෙන් හෙදියන්ට පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇතත් මෙතෙක් එය සිදුව නැත.

කරාපිටිය ශික්ෂණ රෝහලට සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ට පුද්ගලික අංශයෙන් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකරගැනීමට රුපියල් 3000.00 ක් පමණ වැය වේ. මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත්වන බවත් එවැනි මුදලක් සොයා ගැනීමට පවා නොහැකි බවත් ඇතැමි රෝගීහු මැසිවිලි නගති.

මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්නගෙන් විමසූ විට මෙසේ කීවේය.

“රෝහලට සැත්කම් සඳහා පැමිණෙන ‌රෝගීන් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ලක්කළේ මෙම වසංගතය පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම සහ එය වළක්වාගැනීමේ අවශ්‍යතාවක් මත රෝගීන්ගේ පැත්තෙන් හිතලා. එය අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ. නමුත් මේ වනවිට කොරෝනා වසංගත තත්ත්වය අඩුවීම නිසා රෝගීන් විශාල වශයෙන් රෝහලට පැමිණෙනවා. ඒ නිසා අපිට ඉක්මණින් මේ පරීක්ෂෂ සිදුකිරීමේ අපහසුවක් තිබෙනවා. ඒ නිසා ඇතැම් රෝගීන්ට පුද්ගලික අංශයෙන් එම පරීක්ෂණ කරගන්න කියා උපදෙස් දෙන්නේ සැත්කම් සැළසුම් කළ දිනයේ ම සිදුකරන්න අවශ්‍ය නිසා. ප්‍රමාදයන් වළක්වාගැනීමට. මේ සඳහා වෛද්‍යවරයෙක් පරීක්ෂණය කරගන්න කියා ලියා දෙනවා. නමුත් රෝහලේ එම පරීක්ෂණ සිදුකළ හැකිව තිබිය දී රෝගීන් පිටතට යවනවානම් එය වරදක්. එය නොවිය යුතු දෙයක්.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී.සුදර්ශනගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“අපි අවශ්‍ය පීසීආර් කට්ටල සහ ඇන්ටිජන් සඳහා අවශ්‍ය කට්ටල කරාපිටිය ශික්ෂණ රෝහලට සපයා තිබෙනවා. මේක කරන්න බැරිනම් එය රෝහ‌ලේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒවා රෝහලෙන් විසඳාගත යුතුයි. අපිට රෝහලක් රෝහලක් ගණනේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බැහැ. ඉවතලන කොටස් දැමීමට භාජනයක් නැත්නම් ඒවා රෝහලේ අයවිසින් විසඳාගත යුතු ප්‍රශ්න.”

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති මෙම ගැටලුව වෙනත් රෝහල්වලින් වාර්තා වී නොමැති බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට සිටින්නේ අධ්‍යක්ෂ ධූරයේ වැඩබැලීම සඳහා පත්කර ඇති වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්නය. ඔහු ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ද වෙයි. ඔහු සම්බන්ධකරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට කතා කළ විට පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටින බවයි. කරාපිටිය ශික්ෂණ රෝහලට ඇමතූ විට ඔහු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිටින බව පවසයි. ජංගම දුරකථනයට ගත්ත ද  පිළිතුරු නොදෙන එම වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය බොහෝ අවස්ථාවල දී ක්‍රියාවිරහිත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!