මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස විසින් අනාවරණය කරන ලද පුවත ඔස්සේ ගිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙරටට ආනායනය කරන ලද ආහාර පිසීමට ගන්නා තෙල්වලර්ගවල පිළිකාකාරක රසායනිකයන් අඩංගු වී ඇතැයි තහවුරු කරගෙන තිබේ.
මෙම වාර්තාව ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී ඇති අතර එම තෙල් තොග මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීම වළක්වා හැකි ඉක්මණින් රටින් පිටකරන ලෙස ද උපදෙස් දී තිබේ.
මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මෙම පුවත අනාවරණය කිරීමත් සමඟ අප ඒ පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසූ විට එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න කියා සිටියේ තම ආයතනය විසින් එම තෙල් සාම්පල පරීක්ෂා කළ අවස්ථාවේ දී ලැබුණු වාර්තා අනුව එහි පිළිකාකාරක සංයෝග නොතිබූ බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සංරක්ෂණ අංශයෙන් විසූ විට ඔවුන් පැවසුවේ ආනයනික පොල්තෙල් තොග ආශ්‍රයෙන් කරන ලද පරීක්ෂණයක දී ඇෆ්ලටොක්සීන් නමැති මාරාන්තික පිළිකා කාරකය එම තොගවල අඩංගු වූ බවයි.
කාංචනගේ මෙම හෙළිදරව් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආනයනික පොල්තෙල් තොගවලින් යළි නියැදි ලබාගෙන පරීක්ෂාකළ අතර එහි ප්‍රතිඵල අනුව එම තොගවල ඇෆ්ලටොක්සීන් රසායනිකය අඩංගු බව තහවුරු වී තිබේ.
මාධ්‍යවේදියාගේ හෙළිදරව් කිරීම හේතුවෙන් මාරාන්තික පිළිකා කාරකයක් මෙරට පුරවැසියන්ගේ ආහාරයට එකතුවීම වැළැකී ගියේය. එමෙන් ම මෙම තෙල්වර්ග ගෙන්වූ බහාලුම් 20ක් අතරින් 13ක් රේගුව විසින් ඒ වනවිටත් නිදහස් කර තිබූ බවත් තවත් බහාලුම් 50ක් තිබෙන බවත් අනාවරණය විය.
එලෙස තෙල් තොග රේගුවෙන් පිටතට ගෙන ගොස් ඇත්දැයි යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව ද මේ වනවිට රජයේ වගකිව යුතු ආයතන පවසයි.



