spot_img
spot_imgspot_img

ලෝක ආර්ථිකයට මරු පහරක් වූ සූවස් ඇළේ හිරවූ බඩු නැව

පුවත්

විදෙස්

සූවස් ඇළේ හිරවී ඇති දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව යම් තරමකින් සෙළවීමට හැකියාව ලැබී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නමුත් සූවස් ඇළ පරිපාලන අධිකාරියේ ප්‍රධානී ඔසාමා රබී පවසන්නේ නෞකාව යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ගතවන දින ගණන සම්බන්ධයෙන් අනාවැකි කීමට නොහැකි බවයි.

මෙහි ඇති බහාලුම් ඉවත්කර නැව වඩාත් සැහැල්ලු කර වඩදිය සමඟ ඇතිවන සුළං උපයෝගී කරගනිමින් නව යලි යාත්‍රා කළ හැකි තත්ත්වයට ගැනීමට ගත් උත්සාහයන් ද වඩාත් සංකීර්ණ වී තිබේ. පසුගිය අඟහරුවාදා (23) මේ නැව මෙසේ හිරවීමට සුළං සහ කාලගුණිික සාධක පමණක් හේතු වී නොමැති බවත් එයට හේතුව නැවේ කාර්මික දෝශ හා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නැවේ කාර්ය මණ්ඩලය අතින් සිදුවූ වරදක් විය හැකි බවත් සූවස් ඇළ ප්‍රධානියා පවසයි.

අඩි 1,300ක් දිගැති මේ බහාලුම් නෞඛාව යළි යාත්‍රා කරවීමට හා සූළුස් ඇ‍ළ ඔස්සේ දිවෙන නාවුක වෙළෙඳ මාර්ගය යළි විවෘත කිරීමට ඊයේ (27) උත්සාහ ගෙන තිබිණි. මෙම නැව හිරවීම හේතුවෙන් සූවස් ඇළ ඔස්සේ යාත්‍රා කරමින් තිබූ නැව් 321ක් මේ වවිට හිරවී තිබේ.

සූවස් ඇළේ දකුණු දොරටුවට සැතපුම් 3.7ක් උතුරින් සූවස් නගරය ආසන්නයේ නෞකා රැසක් නැංගුරම් දා තිබේ. මේ නෞකාවල කපිතාන්වරු බලාපොරොත්තුවෙන් සිටින්‍නේ ඉක්මණින් අවහිරය යථාතත්ත්වයට පත්කරනු ඇති බවයි. අප්‍රිකාව වටා ගොස් ආසියාවට ළඟාවීමට වඩා නැංගුරම් ලා බලා සිටීම වඩාත් සුබදායී බව එම නැව් සමාගම් පිළිගන්නවා ඇත. අප්‍රිකාව වටා ගමන් කිරීම මුහුදු කොල්ලකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමට ලක්වන කරුණකි.

හිරවූ එවර් ගිවන් නෞකාව නිදහස් කිරීමේ කාර්යය සිදුකරමින් සිටින සමාගම වන බොස්කලිස් හි ප්‍රධාන විධායක පීටර් බර්ඩොව්ස්කි කියා සිටියේ මෙම නෞකාවේ ඇති බහාලුම් ඉවත්ත්කිරීමට ටග් යාත්‍රා යොදවා ඇති බවයි. එමෙන්ම දින කිහිපයකින් නැව ඇද ගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු පවසයි. නැවේ ඉදිරිපස කොටස සූවස් ඇළ ඉවුරේ වැලි සහ මැටිවල හිරවී ඇතත් පිටුපස කොටස සම්පූර්ණයෙන් ම ඉවුරේ සිරවී නොතිබීම යම් තරමකින් හෝ සැනසිලිදායක දෙයක් බවයි.

විශාල ටග් යාත්‍රා මගින් නැවේ බර අඩු කිරීම හා වඩදිය හේතුවෙන් අද (28) නැව සෙන්ටිමීටර 50ක් පමණ ඉහළට ‍ඔසවාගැනීමට හැකිවේ යැයි ද එම සමාගම විශ්වසය පළ කරයි.  ඒ අනුව ඔවුන්ගේ සැළසුම සාර්ථක වුවහොත් එළැඹෙන සතියේ පළමු දින කිහිපයේ දී නැව මුදා ගැනීමට හැකිවේ යැයි ඔවුහු විශ්වාසය තබා සිටිති.

නැවේ ඇති කන්ටේනර ඔසවා ටග් යාත්‍රාව මත තැබිය හැකි දොඹකර යාත්‍රාවක් ද මේ වනවිට නැව හිරවී ඇති ස්ථානයට යාත්‍රා කරමින් තිබේ.

නැව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සුළඟේ වේගයත් සමඟ නැවේ ධාවනය වඩාත් වේගවත් වී ඇති බවත් ඉන් පසු එන්ජින් ක්‍රියාකාරීත්වය ඇණ හිට ඇති බවත්ය. එමෙන්ම නැ‍වේ විදුලිය බිඳ වැටී ඇති බව ද අනාවරණය වී තිබේ.

ගෝලීය වෙළෙඳාමේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට සූවස් ඇළ කොතරම් උපකාරීවන්නේ ද යන්න මේ නැවේ අනතුරත් සමඟ පැහැදිළි වේ. මේ වනවිට ලෝකය පුරා භාණ්ඩ ප්‍රවාහනය ඇණ හිට තිබේ. ආසියාවෙන් යුරෝපයට පැමණෙන භාණ්ඩ හා යුරෝපයේ සිට ආසියාවට ගෙන යන භාණ්ඩ සියල්ල අතරමග හිරවී තිබේ.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඇළ හරහා මේ නෞකාව ගැටී පවතින සෑම පැයකටම ලෝක වෙළෙඳාමේ ඩොලර් මිලියන 290ක පාඩුවක් සිදුවන බවයි. සැපයුම් ප්‍රමාදවීමෙන් ආසියාවේ සහ යුරෝපයේ වෙළෙඳාමට එය සෘජුව බලපෑම් කරනු ඇත. එමෙන්ම මැද පෙරදිග සිට යුරෝපයට ගෑස් හා තෙල් ප්‍රවාහන කිරීම ද මේ හේතුවෙන් ඇණහිට තිබේ.

ඇතැම් යාත්‍රා තම ගමන් මාර්ගය වෙනස් කරමින් අප්‍රිකාව වටා ගමන් කිරීම ආරම්භ කර ඇතිඅතර එවර්ග්‍රීන් සමාගමේ එවර්ග්‍රීට් නම් සහෝදර නැවක් ද අප්‍රිකාව වටා යාම ආරම්භ කර තිබේ.

රතු මුහුදේ ක්‍රියාත්මකවන එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය පවසන්නේ කලාපයේ ආරක්ෂාාව පිළිබඳ පසුගිය දින දෙකක පමණ කාලයේ දී නැව් සමාගම් රැසක් සාකච්ඡා කළ බවයි. එමෙන්ම අප්‍රිකාව වටා ගමන් කිරීම තෝරාගන්නා යාත්‍රා සඳහා ආරක්ෂාව තහවුරු කිරීමට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් ගතයුතු බව චීන නැව් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

සිරවී ඇති එවර් ගිවන් නෞකාව ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන නැව් කිහිපයෙන් එකකි. වරකට බහාලුම් 20,000ක් රැගෙන යාමට මෙම නෞකාවට හැකියාව ඇත.

සූවස් ඇළ

සැතපුම් 120ක් දිගින් යුතු සූවස් ඇළ පර්සියානු ගල්ෆ් සහ මධ්‍යධරණී මුහුද හා සම්බන්ධවන අතර අත්ලාන්තික් හා ඉන්දියන් සාගරය අතර ඇති කෙටිම නැව් මාර්ගය ද වෙයි.

1869 දී මෙම ඇළ විවෘතකිරීමට පෙර යුරෝපයෙන් නැව්ගමන් කිරීමට සිදුවූයේ කේප් හෝර්න් සහ දකුණු අත්ලාන්තික සාගරය හරහාය. මෙය ඉතාමත් අවදානම් සහ දීර්ඝ ගමනක් වී තිබිණි.

1859 අප්‍රේල් මාසයේ දී සූවස් ඇළ ඉදිකිරීම නිල වශයෙන් ආරම්භ වූ අතර ප්‍රංශය ඒ සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කර තිබිණි. 1875 නොවැම්බර් 17 වැනි දින සියලු රටවල නැව් යාත්‍රා කිරීම සඳහා සූවස් ඇළ විවෘත කරන ලදී. එහෙත් බ්‍රිතාන්‍යය රජයට පසුව ඇළ ව්‍යාපෘතියෙන් 44% කොටස් ලබාගෙන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාවක් ද යොදවන ලදී. සූවස් ඇළ ඊජිප්තුවට අයත් වූයේ නාමිකව පමණි. 1956 දී සූවස් ඇළ ජනසතුවන තෙක් බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එය පවත්වානෙ යන ලදී. මෙම ඇළ මාර්ගය යළි ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රයත්න දැරූ අතර එය සටන් දක්වාම දික්ගැස්සිණි.

1967 දී ඊශ්‍රායලය සමඟ දින 06ක් ඇති වූ යුද්ධයෙන් පසු සූවස් ඇළ වසර 08ක කාලයක් වසා දමා තිබිණි. එලෙස මේ ඇළ වසා දමා තිබුණේ යුද්ධයේ දී ඇළ මාර්ගයේ ගිලී ගිය නෞකා ඉවත් කිරීම සහ තවදුරටත් ඇළ මාර්ගය හැරීමේ අවශ්‍යතාවත් කලාපයේ තිබූ අස්ථාවරත්වයත් හේතුවෙනි

සූවස් ඇළ මධ්‍යධරීණී මුහුදට රතු මුහුද සෘජුව සම්බන්ධ කරන පළමු ඇළ මාර්ගයයි. 2015 දී ඇලේ නව කොටසක් විවථ වූ අතර එමගින් දෙපසින් ගමන් කිරිමට ඉඩ සළස්වා ඇත. මෙහි අනාගත සැළස්ම වන්නේ වත්මන් ඇළේ ධාරිතාව දෙගුණ කිරීමකි. ලොව දැනට ඇති විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙම ඇළ හරහා ගමන් කිරීමට නම් ඩොලර් 180,000ක මුදලක් ගෙවිය යුතුය.

ඇළ ඉවුරු විනාශවීම වැළැක්වීම සඳහා ඇළ ඔස්සේ නැවක් ධාවනය කළ හැකි වේගය පිළිබඳ සීමා මායිම් පනවා තිබේ. එබැවින් මේ දුර ගමන් කිරීමට නැවකට පැය 11ක් පමණ ගත වන අතර දිනකට සාමාන්‍යයෙන් භාණ්ඩ ප්‍රවාහන නැව් 40-50ක් පමණ මේ ඔස්සේ ගමන් කරයි.

ඇළ විවෘත කළ අවදියේ දී ගැඹුර අඩි 26ක් වූ අතර පතුලේ පළල අඩි 72කි. නැව් ගමන් කිරීම වැඩිවීමත් ලෝක‍යේ නිපදවන නැව් ප්‍රමාණයෙන් වඩාත් විශාල වීමත් හේතුවේන 1960 දශකයේ දී ඇළ හාරා අඩි 40ක් දක්වා ගැඹුර වැඩි කළ අතර වඩාත් පළල් කරන ලදී. මේ වනවිට ඇලේ අවම ගැඹුර අඩි 66ක් වන අතර අඩි 72 දක්වා උපරිම ගැඹුරකින් යුක්තය.

https://www.dailymail.co.uk/news/article-9409003/Moment-Given-crashed-Suez-Canal-caught-video.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!