හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ පිහිටි ඛනිජ වැලි නිධියක කැණීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.
අමාත්‍යවරයා කියා සිටියේ ලංකා ඛනිජ වැලි සමාගම යටතට මෙම ඛනිජ නිධිය පවරාගෙන කැණීම් කටයුතු කරන බවයි. නමුත් එහි දී අදහස් දැක්වූ මානව සම්පත් සමිතිය නමැති සිවිල් සංවිධානයක නියෝජිතයන් ඇමතිවරයාගේ අදහසට දිගින් දිගටම විරෝධය දැක්වූහ.
ඔවුන් පවසා සිටියේ මෙම ඛනිජ නිධිය සොයාගෙන ඒ බව රජයට දැනුම් දුන්නේ ගැමියන් බවයි. ඉන් පසු මෙම ඛනිජ වැලි ලබාගැනීමට කැමැති සමාගමක් අසීරුවෙන් සොයාගත් බවත් ඉන්දියානු සමාගමක් ඊට එකඟව තම සමිතිය සමඟ ගිවිසුම්ගත වී සිටින බවත් මානව සම්පත් සමිතියේ සාමාජික සාමාජිකාවෝ ප්‍රකශ කළහ.
“ඔය සමාගම්වලට රැවටෙන්න එපා. අපි රජය මගින් මේ වැඩේ කරන්නේ. කවුද ගිවිසුම් ගැහුවේ. එහෙම ගිවිසුම් ගහන්න බැහැ. කට වචනයෙන් කියන දේවල්වලට රැවටෙන්න එපා. රටේ සම්පත් ඉන්දියාවට දෙන්න කාටවත් බැහැ.” යැයි ඇමතිවරයා කීව ද සමිති සාමාජිකයෝ ඊට එකඟ වූයේ නැත.
ඔවුන් සිංහල භාෂාවෙන් සකස් කර තිබූ ඉන්දියානු සමාගමක් සමඟ අත්සන් කළ බව කියන ගිවිසුමක් ද මාධ්‍යයට පෙන්වා සිටියහ. මේ අවස්ථාවේ විසඳුමක් නොමැතිව අමාත්‍ය විමල් වීරවංශ එතැනින් පිටත්ව යාමට සූදානම් වෙද්දී ප්‍රදේශවාසීහු හූ තැබූහ.
(වීඩියෝ දර්ශන – newsfirst)