ගිරිතලේ වැවේ අද (27) උදෑසන දක්නට ලැබුණේ අපූරු දර්ශනයකි. වෙනදා නොමැති තරම් දියකාවුන් දහස් ගණනක් වැවේ ඒ මේ අත පියඹා යමින් විටෙක වැව් බැම්ම ඔස්සේ දිවෙන මහා මාර්ගය අසළටම පැමිණෙමින් යළි යළිත් ඒ මේ අත යමින් සැරි සරන ආකාරයත් මසුන් දඩහම් කරන ආකාරයත් දෙස මාර්ගයේ යන බොහෝ දෙනකු පුදුමයෙන් බලා සිටියහ.
දියකාවා මේ ප්‍රදේශයේ ජනතාවට සුලබව දැකිය හැකි සත්ත්වයකු වුව ද මෙලෙස ඔවුන් විශාල රංචු වශයෙන් සිටීම දුලබ දසුනක් බව ප්‍රදේශවාසීහු කියති.
ශ්‍රී ලංකාවේ දියකාවුන් විශේෂ හතරක් දක්නට ඇත. මහ දියකාවා, පුංචි දියකාවා, ඉන්දියන් දියකාවා සහ පෙරදිගු අහිකාවා යනුවෙන් ඔවුන් හඳුන්වයි. අද මේ ස්ථානයේ දක්නට ලැබුණේ පුංචි දියකාවා Phalacrocorax niger සහ ඉන්දියන් දියකාවා Phalacrocorax fuscicollis යන සත්ත්ව විශේෂ දෙකයි. දියකාවුන් විශේෂ දෙක අතර ආහාර සඳහා යම් යම් අවස්ථාවල දී තරඟයක් ඇතිවිය හැකි වුව ද ඔවුන් එකම පරිසරයේ එක්ව දඩයම් කරන ආකාරය ද සුලබ දසුනකි.
මොවුන් ගිරිතලේ වැව වැනි විශාල ජලාශයන්හි එකට සිටින මසුන් රෑනක් දුටු විට රංචු ගැසී ඒ මසුන් එක් පැත්තක සිට තවත් පැත්තකට එළවාගෙන යාම සිදුකරයි. බොහෝ විට කරන්නේ මාළු බිය ගන්වමින් වැවේ එක් බැම්මක් දෙසට එළවා දැමීමයි. ඉන් පසු දියකාවන් රංචුවට මේ මසුන් ඉතා පහසුවෙන් ගොදුරක් කරගැනීමට හැකියාව ලැබේ. මේ එවැනි සිදුවීමකි.
දියකාවුන් රංචු ගැසී මසුන් එළව එළවා කොටු කර දඩයම් කරන ආකාරය මේ වීඩියෝවේ දැක්වේ.
(රුමේෂ් මධුශංක)