ලෝක බලවතා වීමට චීනය ගන්නා උත්සාහයන් පරාජයට පත්කරන බවත්, මානව හිමිකම් උල්ලංඝනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා යමින් චීනය ලෝකයාට කරන බලපෑම්වලට තමන් බලයේ සිටින තුරු කිසිදු ඉඩක් නොදෙන බවත් ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පළමු වරට ධවල මන්දිර මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ පවතින රටාවට චීනය අනුගත විය යුතු බවයි. එසේ නොවන්නේ නම් චීනයට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බයිඩන් කීවේය.
“චීනය ලෝකයේ රටාවට අනුගත වී හරි දේ කරනවානම් අපි හැමදාමත් චීනය සමඟ ඉන්නවා. නමුත් ඔවුන් රටවලට අනිසි බලපෑම් කරනවා. චීනය හා ඇමෙරිකාව අතර ආර්ථික සටනක් තිබෙනවා. මේ ගැන අපි නිතර සාකච්ඡා පවත්වනවා. චීනය අසාධාරණ ආකාරයෙන් කොන්දේසි ඉදිිරිපත් කරනවානම් කිසිම අවස්ථාවක අපි ඊට එකඟ වෙන්නේ නැහැ.” ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
බැරක් ඔබාමා ජනාධිපතිධූරය දරන වකවානුවේ ජෝ බයිඩන් එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. එකල බයිඩන් චීන ජනාධිපති ෂී ජින්පින් හමු වී සාකච්ඡා කර තිබේ. ජෝ බයිඩන් පවසන්නේ චීන ජනාධිපතිවරයා කවරකු දැයි තමන් හොඳින්ම දන්නා බවයි. ඔහු ප්‍රජාතන්තවාදය පිළිබඳ තැකීමක් ඇති නායකයකු නොවන බවත්, නමුත් ඔහු මෝඩයකු නොවන බවත් ගැටුම්වලින් වැළකී සිටින්නට කළ යුතු දේ කුමක්දැයි ඔහු හොඳින්ම දන්නා බවත් බයිඩන් කීවේය.