අතීතයේ ගම පාලනය කළේ ගම්මුලාදෑනියා විසිනි. 1802 වර්ෂයේ දී ලංකා සිවිල් සේවය ආරම්භ වූ අතර 1963 දී එය ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවය ලෙස නම් කරනතුරු මෙරට ගමේ පරිපාලනය කරගනෙ ගියේ ගම්මුලාදෑනියා විසිනි.
1963 දී ගම්මුලාදෑනි ක්‍රමය අහෝසිකර එය ග්‍රාම සේවක වෘත්තිය බවට පත්කෙරිණි. ගම්මුලාදෑනි ක්‍රමය ඉතිහාසයට එක්ව තිබුණ ද පසුගිය සතිය වනතුරුම ගම්මුලාදෑනියකු මෙරට ජීවත් වූයේය. නමුත් ඔහු පසුගිය 20 වැනි දා ඔහු ජීවිතයෙන් සමුගැනීමත් සමඟ මෙරට සිටි සියලු ගම්මුලාදෑනිවරු දැන් ජීවිතයෙන් සමුගෙන ගොසිනි.
මේ අවසන් ගම්මුලාදෑනියා ජීවත් වූයේ ගාලේලේය. ගාල්ලේ වංචාවල යටගල පාරේ පියසිරි නිවසේ ජීවත් වූ සැමී යාපා සිරිවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජීවත් වූ අවසාන ගම්මුලාදෑනියාය. මියයන විට වයස අවුරුදු 106 ක් වූ හෙතම හබරාදුව මීපේ ගම්මානයේ දී 1915 ජුනි මස 18 වැනි දා උපත ලැබුවේය.
දරුවන් අට දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූ ඔහු මීපේ අමතායන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපන ලැබුවේය. ඉන් පසු මීගොඩ පාසලෙන් හා කළහේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම පළමුව උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ ගුරු වරයකු වශයෙන් සේවය කළේය. නමුත් ටික කලකින් ගුරු වෘත්තිය එපාවීම හේතුවෙන් එය හැරදමා පැමිණි ඔහු 1944 සැප්තැම්බර් 06 වැනි දා වයස අවුරුදු 29ක්ව සිටිය දී ගම්මුලාදෑනි තනතුරට පත්වූයේය.
සැමී යාපා සිරිවර්ධන ගම්මුලාදෑනි තනතුර සඳහා ඉල්ලුම් කළ විට සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත්තේ උණවටුනේ ඊ.ඩී.සේරම් මුදලිතුමා විසිනි. ඔහුට 134 කලහෙ වසමේ ගම්මුලාදෑනී තනතුර ලැබිණි.
ගම්මුලාදෑනි සැමී මහතා හබරාදුව, පිටිදූව, ගමේ කංකානම්ගේ අමේරියා පියසීලි තරුණිය සමඟ 1951 වර්ෂයේදී දී විවාහ දිවියට පිවිසි අතර ඔවුන් දෙපල චන්ද්‍රා පද්මිණී, භද්‍රා රංජනී, පියසිරි, හේමකාන්ති යන දරුවන් සිව් දෙනකුට උපත ලබාදුන්නේය. ඔහුගේ බිරිඳ වසර 92ක් ආයු වළඳා 2015 වර්ෂයේ දී මෙළොව හැර ගියාය.
මියයන තුරුම ඉතාමත් නිරෝගී ජීවිතයක් ගත කරමින් සිටි සැමී යාපා සිරිවර්ධන මහතා වයස අවුරුදු 106ක් වුව ද නිවසේ අපහසුවෙන් නමුත් තනිව ඇවිද්දේය. උපැස් යුවළක් නොමැතිව පත්තර බැලුවේය. කොතරම් වයස්ගත වුව ද මෙරට පැවැති සෑම මැතිවරණයක දී උදෑසනම ඡන්ද පොළට ගොස් ඡන්දය දමන්නට අමතක කළේ නැත. අවසන් වරට පසුගිය මහ මැතිවරණයේදී ද සැමී මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය. තුන්වේලටම ගමේ වැවෙන එළවළුවක් සමඟ බත් හෝ වෙනත් දේශීය ආහාරයක් ගත් ඔහු දීර්ඝායුෂ වැළඳීමේ රහස කෑමට ගන්නා පිරිසිදු දේශීය ආහාර යැයි තරයේ විශ්වාස කළේය.
වයස අවුරුදු 106ක් වූ ගම්මුලාදෑනිවරයා තවත් අසම සම වාර්තා දෙකකට හිමිකම් කීවේය. ඒ 1963 දී ගම්මුලාදෑනි සේවය ග්‍රාම සේවක වෘත්තිය බවට පත්කරන අවස්ථාවේ දී විශ්‍රාම යාමෙනි. විශ්‍රාම යනවිට 48 වැනි වියේ පසුවූ ඔහුට තවත් වසර 12ක් සේවය කිරීමට අවස්ථාව තිබුණ ද එය ප්‍රතික්ෂේප කරමින් කැමැත්තෙන් විශ්‍රාම ගියේ ග්‍රාම සේවක තනතුර ගම්මුලාදෑනි තනතුර තරම් නොවන බව පවසමින් යැයි ඔහුගේ එකම පුතු වන පියසිරි යාපා සිරිවර්ධන පවසයි.
“ඒ කාලේ අපි පොඩියි. ඕව තේරෙන්නේ නැහැ. නමුත් තාත්තා පස්සේ අපිට කිව්වා විශ්‍රාම ගියේ ග්‍රාම සේවක තනතුර ගම්මුලාදෑනි කෙනෙකුට ගැලපෙන්නේ නැති නිසා කියලා. ඒ කාලේ ගම්මුලාදෑනි කෙනෙකුට රාජකාරි කරන්න ලොකු ප්‍රදේශයක් තිබුණා. නමුත් ග්‍රාම සේවක වෘත්තිය ආවට පස්සේ බලප්‍රදේශය කුඩා වුණා. ඉස්සර තාත්තා කියනවා ගම්මුලාදෑනි ක්‍රමය නැති කරන්න කියලා රටේ ලොකු විවාදයක් තිබුණා කියලා. තාත්තා හිටියේ ඒ ක්‍රමය තියෙන්න ඕන කියන මතයේ නිසා වෙන්න ඇති විශ්‍රාම යන්න ඇත්තේ.”ඔහු විශ්‍රාම යාමත් සමඟ මෙරට මුළින්ම විශ්‍රාම ගිය සහ විශ්‍රාම වැටුපකට හිමිකම් කියූ ගම්මුලාදෑනියා බටව හෙතෙම පත්වූයේය. එපමණක් නොව 1963 සිට 2021 මාර්තු මාසය දක්වාම විශ්‍රාම වැටුප් ලබාගත් ඔහු වසර 58ක් විශ්‍රාම වැටුප ලැබූ පුද්ගලයකු ලෙස ද වාර්තා ගතවී ඇත. ඔහුගේ එම වාර්තාව බිඳ දැමීමට නම් දැන් වයස අවුරුදු 60 දී විශ්‍රාම යන පුද්ගලයකු වයස අවුරුදු 118්ක් වන තුරු ජීවත්විය යුතුය. එය යමෙකුට පහසු කාර්යයක් නොවනු ඇත.
ඔහු සෑම අවස්ථාවක දී ම රාජකාරී කර ඇත්තේ සුදු සරමක් සහ උඩට අඳින බොත්තම් පහක් සහිත කෝට් එකක් පළදිමිනි. ඔහුගේ කලහේ බලප්‍රදේශයේ අංකය වූ 134 සටහන් කළ පළඳනාවක් ද මේ නිල ඇඳුමේ එල්ලා තිබිණි. එමෙන්ම එම නිල ඇඳුමට බෙරේ තොප්පියක් සහ බැට්න් පොල්ලක් ද තිබිණි.
“ඒ කාලේ රාජකාරිය අදට වඩා ගොඩක් අමාරුයි කියලා තාත්තා අපිත් එක්ක කියල තියෙනවා. මේ වගේ පාරවල් නෑ වාහන නෑ. කැලෑවල්වලින් රිංගගෙන, ඇළ දොළ උඩින් තමයි යන්න වෙන්නේ. බඩු ප්‍රවාහනය කරන්න තියෙන්නෙත් කරත්ත. කරත්තවලින් කරන ලොකුම දෙයක් තමයි දර ගෙනියන එක. මේ දර ගෙනියනවාට ගම්මුලාදෑනිගෙන් බලපත්‍රයක් ගන්නත් ඕනලු. මිනී මැරුමක් වුණොත් ඒ නීතිමය කටයුතු කරනකන් මැසි මදුරුවෝ තල තලා මිනිය මුරකරන්නත් වෙනවා කියලා තාත්තා ඉස්සර කියනවා. තාත්තා ගාව කෙටේරියක් තියෙනවා. ඒක කෙනෙක් මිනී මැරුමකට පාවිච්චි කළ එකක්. නඩු භාණ්ඩ පවා ගම්මුලාදෑනිවරු භාරයේ තිබුණු බවට ඒක හොඳ සාක්කියක්.”
පියසිරි පවසන්නේ ගමේ ගම්මුලාදෑනියා වූ තම පියාට කවුරුත් ඇමතුවේ සිරිවර්ධන රාළහාමි යනුවෙන් බවයි. කාගේත් රාළහාමි වූ ඔහු ගමේ සිටි ජ්‍යෙෂ්ඨතම පුරවැසියා වූයේය. තම පැරණි ඥාති හිතමිතුරන් හමු වූ විට අතීතයේ කළ කී දේ සිහිපත් කරමින් පැරණි රස කතා කීම සිරිවර්ධන රාළහාමිගේ සිරිත වී තිබිණි. ඔහු නිතරම පවසන්නේ තමන් රාජකාරී කරන කාලයේ එම රාජකාරීවල තිබූ වගකීම් සහගත බවයි. අකුරටම රාජකාරී කළ ආකාරයත් වර්තමාන පරපුර තම වගකීම නිසි පරිදි ඉටු නොකරන බවත් ඔහු තම අත්දැකීම් ඇසුරෙන් නිතරම පවසා ඇත.
එකල ගම්මුලාදෑනිවරුන්ගේ ප්‍රධාන රාජකාරියක් වූයේ රජයට වී එකතුකරදීමයි. තම පියා වී බුසල මනින උපකරණත් රැගෙන නිවසින් පිටවන බව පුතා සිහිපත් කරයි. රජයට බදු අයකර දෙන අතරම ජනතාවට රජයේ සහන ලබා දීම ද සිදුවූයේ මේ ගම්මුලාදෑනින් මගිනි. රජයෙන් වර්ග හතරක හාල් පොත් හඳුන්වා දී තිබිණි. කම්කරු, සාමාන්‍ය, ළමා හා ළදරු හාල්පොත් ලෙස හැඳින්වූ මේ හාල්පොත් වර්ග අතරින් ළමා හාල්පොතට විටාමිල්ක් හා කවුඇන්ඩ්ගේට් වැනි පිටිකිරි වර්ග ද ලබා දීම විශේෂත්වයකි.
“තාත්තා නිතරම මතක් කරන කතාවක් තමයි එයාට දඩයක් ගෙවන්න වූ සිදුවීමක්. ගම්මුලාදෑනිවරු හැමදාම තමන්ගේ දිනපොතේ සටහනක් තැබීම අනිවාර්යය වෙලා තිබුණාලු. ඉතින් දවසක් තාත්තට මේ සටහන තියන්න අමතක වෙලා. ඒකට දඬුවමක් හැටියට රුපියල් දහයක දඩයක් නියම කරලා. ඉතින් 1963ට ඉස්සෙල්ලා රුපියල් දහයක් කියන්නේ ලොකු ගණනක්.”
මියයන තුරුම තම පියාගේ අවශ්‍යතා ඉටු කළ හේමකාන්ති සිරිවර්ධන මෙසේ කීවාය.
“තාත්තා අවසන් මොහොත වෙනකන්ම හොඳින් නිරෝගීව හිටියා. කවදාවත් ඉස්පිරිතාලෙකට ගිහින් නැහැ. බෙහෙත් පෙත්තක්වත් බොන්න කැමැති නැහැ. කවදාවත් අරක්කු සිගරැට් කටේ තියලා නැහැ. කසාය වර්ග, තෙල් බෙහෙත් වර්ගවලට නම් කැමතියි. වේදනාවක් ආවත් කියන්නේ තෙල් ටිකක් ගාන්න කියලා. අල, බතල කොස් දෙල් මඤ්ඤොක්කා තමයි කෑවේ. අවසන් මොහොත දක්වාම හොඳ කල්පනාවෙන් සිටියා. තාත්තා බලාපොරොත්තු වුණෙත් දුකක් නැති මරණයක්.”
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී පත්වීම් ලැබ මෙරට සිටි ගම්මුලාදෑනිවරු අතර අවසන් පුරුක වූ සැමී යාපා සිරිවර්ධන දැන් අතීතයට එකතුවී සිටියි. ඔහු ඉතිරිකර ගිය මතකයන් බොහොමයකි. ඒ සියල්ල ඓතිහාසික කරුණු බවට පත්ව ඇත.
(සජීව විජේවීර)