සූවස් ඇළ ඔස්සේ කරන සියලුම නැව් ගමනා ගමන කටයුතු අවහිර කරමින් හිරවී ඇති නැව ඉවත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ලොව ප්‍රවාහන අර්බුදයක් හටගෙන ඇත.
ලෝකයේ වඩාත් කාර්ය බහුලම නැව් මාර්ගයක් වන සූළුස් ඇළෙහි හරස් අතට සිරවී ඇති මෙම නෞකවා තායිවානයේ එවර්ග්‍රීන් මරයින් (Evergreen Marine) නැව් සමාගමට අයත් එම්වී එවර් ගිවන් (MV Ever Given) නමැති නැවකි. එය මීටර 400ක් හෙවත් අඩි 1,312ක් දිගැතිය. පළල මීටර 59කි. එය පාපන්දු පිටි 04ක් තරම් විශාලය. මේ නැව සූවස් ඇළේ දී කරකැවී ගොස් ඇළ හරහට සිටින සේ හිරවී තිබේ. එබැවින් මේ නැව යලි සූවස් ඇළේ නිවැරදි දිශානතියට යොමුකරන තුරු කිසිම නෞකාවකට ඇළ හරහා ගමන් කිරීමට නොහැකි වී ඇත.
චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් තිබූ මෙම නැව අඟහරුවාදා (23) ඊජිප්තු වේලාවෙන් උදේ 7.40ට පමණ සූවස් ඇළේ ඉවුරු දෙක සම්බන්ධවන පරිදි හරස් වී තිබේ.
මේ නැවේ ගැටලුව සමස්ත ලෝකයේ ම ආර්ථිකයට විශාල බලපෑමක් කරන තත්ත්වයට පත්ව තිබේ. කෙසේ වෙතත් හිරවූ නැවේ ප්‍රශ්නය විසඳාගන්නා තුරු පැරණි ප්‍රවේශ මාර්ගයක් විවෘත කර ඒ හරහා නැව් යොමු කිරීමට ඊජිප්තුව පියවර ගෙන ඇත.
සූවස් ඇළ යනු යුරෝපය හා ආසියාව යා කරමින් රතු මුහුද හා මධ්‍යධරණී මුහුද සම්බන්ධ කර ඊජිප්තුව හරහා සෑදූ යෝද ඇළ මාර්ගයකි. ලෝකයේ වෙළෙඳ කටයුතුවලින් 12% පමණ ප්‍රමාණයක් මේ සූවස් ඇළ හරහා සිදුවීම ද විශේෂත්වයකි.
මෙහි බලපෑම ශ්‍රී ලංකාවට ද තදින් දැනෙනු ඇතැයි ශ්‍රී ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ සභාපති ඉක්රම් කටිලාන් පවසයි. කොළඹට පැමිණෙන භාණ්ඩ ලැබීමේ මෙන්ම අපනයන කරන භාණ්ඩ අදාල ගමනාන්තවලට යැවිමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
නැව ඇල ඉවුරේ ගැටී ඇති ස්ථානයෙන් වැළි ඉවත් කිරීම් ආරම්භ කර ඇති අතර නැව යළි පාකිරීම සඳහා ටග් යාත්‍රා අටක් යොදවා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
මෙම නැවේ අවහිරතාව ඇතිවූ වහාම බොරතෙල් නැව්ගත කිරීම් හා ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වය හේතුවෙන් බදාදා වනවිට ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල 4%කින් ඉහළ ගියේය. සූවස් ඇළේ අවහිරතාව හේතුවෙන්, බොර තෙල් හා පිරිපහදු නිපැයුම් රැගත් තෙල් නැව් 20 ට වැඩි ප්‍රමාණයක ගමනට බලපෑම් එල්ලවී ඇති බව කෙප්ලර් එනර්ජි ඉන්ටෙලිජන්ස් සර්විස් ආයතනය පවසයි.

